12. 4. 6.
පාණ සූත්රය
3878. මහණෙනි, පුරුෂයෙක් මේ දඹදිව යම් තණ-දර අතු සහ කොළ වෙත්ද ඒ සියල්ල සැස, එක්තැනකට රැස් කරන්නේය එක්රැස්කොට, හුල්කරන්නේය. හුල්කොට මහාසමුද්රයෙහි යම් මහත් ප්රාණීහු වෙත්ද, ඔවුහු මහත් හුල්හි අමුණන්නේය. මහා සමුද්රයෙහි යම් මධ්යම ප්රාණීහු වෙත්ද, ඔව්හු මධ්යම හුල්හි අමුණන්නේය. මහාසමුද්රයෙහි යම් සියුම් ප්රාණීහු වෙත්ද, ඔවුහු සියුම් හුල්හි අමුණන්නේය. මහණෙනි, එහෙත් මහා සමුද්රයෙහි මහත් ප්රාණීහු අවසාන නොවන්නාහුය. මේ දඹදිව තණ, දර, අතු සහ කොළ අවසානයට පැමිණෙන්නේය. මහණෙනි, මහා සමුද්රයෙහි හුලින් අමුණා ගැනීමට පහසු නොවූ, සියුම් ප්රාණීහු ඊටද වඩා අධිකය. ඊට හේතු කවරේද? මහණෙනි, ආත්ම භාවයන් සියුම් බැවිනි. මහණෙනි, අපාය වනාහි මෙසේ මහත් වේ. මහණෙනි, යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනියිද, මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනියිද, මේ දුක නැතිකිරීම යයි තත්වූ පරිදි දනියිද, මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූපරිදි දනියිද, ඒ මාර්ග සම්යක්දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම වනාහි මෙසේ මහත් අපායෙන් මිදුනේ වෙයි. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 7.
සූරියූපම සූත්රය
3879. මහණෙනි, යම් මේ අරුණ නැඟීමක් වේද, එය ඉර උදාවීමට පෙරටු වෙයි. පෙරනිමිත්ත වෙයි. මහණෙනි, එසේම යම් මේ සම්යක්දෘෂ්ටියක් වේද එය මහණහුගේ චතුරාර්ය්යසත්යය තත්වූ පරිදි අවබෝධ කිරීමට පෙරටු වෙයි. පෙර නිමිත්ත වෙයි. මහණෙනි, සම්යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මෙය දුකයයි තත්වූ පරිදි දැනගන්නේය. සම්යක් දෘෂ්ටියෙන් භික්ෂුවම මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දැනගන්නේය සම්යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි දැනගන්නේය. සම්යක් දෘෂ්ටියෙන් යුත් භික්ෂුවම මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූ පරිදි දැනගන්නේය යන මෙය කැමතිවිය යුතුය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 8.
දුතිය සූරියූපම සූත්රය
3880. මහණෙනි, යම්තාක් සඳ හිරු දෙදෙන ලෝකයෙහි පහළ නොවෙත්ද ඒතාක් මහත්වූ ආලෝකයාගේ, මහත්වූ බැබලීමක් පහළ නොවෙයි. එකල්හි ගනඳුර වෙයි. අඳුරෙන් වැඩීම වෙයි. ඒතාක් රෑ දවල් නොපෙනෙත්. මාස අර්ධ මාසයෝ නොපෙනෙත්. ඍතු වර්ෂයෝ නොපෙනෙත්. මහණෙනි, යම් තැනක පටන් සඳ හිරු දෙදෙන ලෝකයෙහි උපදිත්ද, එකල්හි මහත්වූ ආලෝකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම වෙයි. එකල්හි අඳුර නැත්තේ වෙයි. එකල්හි රෑ දාවල් පෙනෙත්. මාස අර්ධ මාසයෝ පෙනෙත්. ඍතු වර්ෂයෝ පෙනෙත්.
මහණෙනි, එසේම යම්තාක් අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ලෝකයෙහි පහළ නොවේද ඒ තාක් මහත්වූ ආලෝකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම නොවෙයි. එකල්හි ගනඳුර ඒතාක් චතුරාර්ය්ය සත්යය දැකීමක් දේශනාකිරීමක්, පැණවීමක්, තැබීමක්, විවරණය කිරීමක්, බෙදීමක් උඩුකුරු කිරීමක් නොවෙයි. මහණෙනි, යම් තැනක පටන් අර්හත්වූ, සම්යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ලෝකයෙහි පහළ වෙයිද, එකල්හි මහත්වූ ආලෝකය සහ දීප්තිය පහළ වෙයි. එකල්හි ගනදුර දුරුවෙයි. එකල්හි චතුරාර්ය්ය සත්යය කීම, දේශනාකිරීම, පැණවීම, තැබීම, විවරණයකිරීම, බෙදීම උඩුකුරු කිරීම වෙයි. කවර සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදය ආර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ආර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්රතිපදා ආර්ය්ය සත්යය වෙත්. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.