12. 4. 3.
දණ්ඩ සූත්රය
3875. මහණෙනි, උඩ අහසට විසිකරන ලද දණ්ඩක් වනාහි යම්සේ වරක් මුලින් බිම වැටේද, වරක් මැදින් බිම වැටේද, වරක් අගින් බිම වැටේද. මහණෙනි, එසේම අවිද්යාවෙන් වැසුණාවූ, තණ්හාවෙන් බැඳුනාවූ, සසර ගමන් කරන් කරන්නාවූ, සැරිසරන්නාවූ සත්වයෝ වනාහි වරක් මෙලොවින් පරලොවට යෙත්. වරක් පරලොවින් මෙලොවට එත්. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්ය්ය සත්යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදා ආර්ය්ය සත්යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 4.
චෙල සූත්රය
3876. මහණෙනි, රෙද්දට හෝ හිසට හෝ ගිනි ඇවිළුණු කල්හි කුමක් කළ යුතුද? ස්වාමීනි, රෙද්දට හෝ හිසට හෝ ගිනි ඇවිළුණු කල්හි ඒ රෙද්ද හෝ හිස හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද වෑයමද, උත්සාහයද, වීර්ය්යයද, නොපසුබස්නා වීර්ය්යයද, සිහියද, නුවණද ඇති කළ යුතුයි. මහණෙනි, ඇවිල ගත් රෙද්ද හෝ හිස හෝ නොබලා, මෙනෙහි නොකොට, අවබෝධ නොකරන ලද, චතුරාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ කිරීම පිණිස බලවත් කැමැත්තද, වෑයමද, උත්සාහයද, වීර්ය්යයද, නොපසුබස්නා වීර්ය්යයද, සිහියද නුවණද ඇතිකළ යුතුය කවර සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදා ආර්ය්ය සත්යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 5.
සත්තිසත සූත්රය
3877. මහණෙනි, අවුරුදු සීයක් ආයුෂ ඇති, අවුරුදු සීයක් ජීවත්වෙන පුරුෂයෙක් වෙයි’ ඔහුට පින්වත් පුරුෂය, තට උදේ කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුය. දවල් කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුය සවස් කාලයෙහි යවුල් සීයකින් අනින්නාහුයයි කියන්නාහුය. පින්වත් පුරුෂය, දිනපතා යවුල් තුන් සීයකින් අනිනු ලබන්නාවූ ඒ නුඹ වනාහි වර්ෂ සීයක් ආයුෂ ඇතිව වර්ෂ සීයක් ජීවත් වන්නෙහි වර්ෂ සීයකින් පසුව අවබෝධ නොකළාවූ චතුරාර්ය්ය සත්යයන් අවබෝධ කරන්නේයයි කියන්නාහුද, මහණෙනි, අර්ථය කැමැති වන්නාවූ කුලපුත්රයා විසින් එයට පැමිණීමට (එය ඉවසීමට) සුදුසුය. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සංසාරය නොදතහැකි කෙළවර ඇත්තේය. මහණෙනි, මෙසේ මේ යවුල් පහරවල හා කඩු පහරවල කෙළවරක් නොපෙනේ. මහණෙනි, එය එසේ වූයේවී නමුත් මම දුකින් යුක්තව, දොම්නසින් යුක්තව චතුරාර්ය්ය සත්යයන් අවබෝධ කිරීම නොකියමි. මහණෙනි, එතකුදු වුවත් මම සැපයෙන් යුක්තව, සොම්නසින් යුක්තව චතුරාර්ය්ය සත්යයන් අවබෝධ කිරීම කියමි. කවර සතරක්ද? දුක්ඛාර්ය්ය සත්යය, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදා ආර්ය්ය සත්යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 6.
පාණ සූත්රය
3878. මහණෙනි, පුරුෂයෙක් මේ දඹදිව යම් තණ-දර අතු සහ කොළ වෙත්ද ඒ සියල්ල සැස, එක්තැනකට රැස් කරන්නේය එක්රැස්කොට, හුල්කරන්නේය. හුල්කොට මහාසමුද්රයෙහි යම් මහත් ප්රාණීහු වෙත්ද, ඔවුහු මහත් හුල්හි අමුණන්නේය. මහා සමුද්රයෙහි යම් මධ්යම ප්රාණීහු වෙත්ද, ඔව්හු මධ්යම හුල්හි අමුණන්නේය. මහාසමුද්රයෙහි යම් සියුම් ප්රාණීහු වෙත්ද, ඔවුහු සියුම් හුල්හි අමුණන්නේය. මහණෙනි, එහෙත් මහා සමුද්රයෙහි මහත් ප්රාණීහු අවසාන නොවන්නාහුය. මේ දඹදිව තණ, දර, අතු සහ කොළ අවසානයට පැමිණෙන්නේය. මහණෙනි, මහා සමුද්රයෙහි හුලින් අමුණා ගැනීමට පහසු නොවූ, සියුම් ප්රාණීහු ඊටද වඩා අධිකය. ඊට හේතු කවරේද? මහණෙනි, ආත්ම භාවයන් සියුම් බැවිනි. මහණෙනි, අපාය වනාහි මෙසේ මහත් වේ. මහණෙනි, යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනියිද, මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනියිද, මේ දුක නැතිකිරීම යයි තත්වූ පරිදි දනියිද, මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූපරිදි දනියිද, ඒ මාර්ග සම්යක්දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම වනාහි මෙසේ මහත් අපායෙන් මිදුනේ වෙයි. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.