12. 4. 1.
සිංසපා සූත්‍රය
3873. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඇට්ටේරිය වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වනාහි ඇට්ටේරිය කොළ ස්වල්පයක් ශ්‍රී හස්තයෙන් ගෙන භික්ෂූන් ඇමතූසේක: “මහණෙනි, ඒ කිමැයි හඟින්නෙහිද? මා විසින් අතින් ගන්නා ලද ඇට්ටේරිය කොළ ස්වල්පයද මේ ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය කොළද යන දෙකින් කවරක් වැඩිද?” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද ඇට්ටේරිය කොළ ඉතා ස්වල්පය. ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය කොළම වැඩිය.” “මහණෙනි, එසේම මා විසින් අවබෝධ කොට නොකියන ලද්දේම අධිකය. කියන ලද දේ ස්වල්පය. මහණෙනි, කවර හෙයකින් මා විසින් නොකියන ලද්දේද? මහණෙනි, එය අර්ථයෙන් යුක්තවූයේ නොවෙයි. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන්නේද නොවෙයි. කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධ කිරීම පිණිස, නිවන පිණිස නොපවතියි. එහෙයින් මා විසින් එය නොවදාරණ ලදී.
කිඤ්ච භික්ඛවෙ, මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හේතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී. මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.”
12. 4. 2.
ඛදිර සූත්‍රය
3874. මහණෙනි, යමෙක් ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවේ. මහණෙනි, යම්සේ යමෙක් ‘මම කිහිරි කොළයකින් හෝ ඉඟුරු පියලිය කොළයකින් හෝ නෙල්ලි කොළයකින් හෝ ගොටුවක් කොට, දිය හෝ තල් කොළයක් හෝ ගෙන යන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවන්නේද මහණෙනි, මෙසේම යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය ශාක්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවේ.
මහණෙනි, යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි දැන මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුවෙයි. මහණෙනි, යම්සේ යමෙක් ‘මම නෙළුම් කොළයකින් හෝ කොළ පතකින් හෝ ඕලුවා පතකින් හෝ ගොටුවක් කොට, දිය හෝ තල් කොළයක් හෝ ගෙන යන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් ඒ කාරණය සිදුවන්නේද, මහණෙනි, එසේම යමෙක් වනාහි ‘මම දුක්ඛාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කොට, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි දැන මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් මේ කරුණ සිදුවෙයි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 3.
දණ්ඩ සූත්‍රය
3875. මහණෙනි, උඩ අහසට විසිකරන ලද දණ්ඩක් වනාහි යම්සේ වරක් මුලින් බිම වැටේද, වරක් මැදින් බිම වැටේද, වරක් අගින් බිම වැටේද. මහණෙනි, එසේම අවිද්‍යාවෙන් වැසුණාවූ, තණ්හාවෙන් බැඳුනාවූ, සසර ගමන් කරන් කරන්නාවූ, සැරිසරන්නාවූ සත්වයෝ වනාහි වරක් මෙලොවින් පරලොවට යෙත්. වරක් පරලොවින් මෙලොවට එත්. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? දුක්ඛාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.
12. 4. 4.
චෙල සූත්‍රය
3876. මහණෙනි, රෙද්දට හෝ හිසට හෝ ගිනි ඇවිළුණු කල්හි කුමක් කළ යුතුද? ස්වාමීනි, රෙද්දට හෝ හිසට හෝ ගිනි ඇවිළුණු කල්හි ඒ රෙද්ද හෝ හිස හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද වෑයමද, උත්සාහයද, වීර්‍ය්‍යයද, නොපසුබස්නා වීර්‍ය්‍යයද, සිහියද, නුවණද ඇති කළ යුතුයි. මහණෙනි, ඇවිල ගත් රෙද්ද හෝ හිස හෝ නොබලා, මෙනෙහි නොකොට, අවබෝධ නොකරන ලද, චතුරාර්‍ය්‍ය සත්‍යය තත්වූ පරිදි අවබෝධ කිරීම පිණිස බලවත් කැමැත්තද, වෑයමද, උත්සාහයද, වීර්‍ය්‍යයද, නොපසුබස්නා වීර්‍ය්‍යයද, සිහියද නුවණද ඇතිකළ යුතුය කවර සතරක්ද? දුක්ඛාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යන සතරය. එහෙයින් මහණෙනි, මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.