12. 3. 8.
අරිය තථාගත සූත්‍රය
මහණෙනි, ආර්‍ය්‍ය සත්‍යයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යි. “මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්වයන් අතරෙහි තථාගතතෙමේ ‘අරිය’ නම් වෙයි. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයෝ යයි කියනු ලැබෙත්. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි ... ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.
12. 3. 9.
සච්ච පරිඤ්ඤෙය්‍ය සූත්‍රය
මහණෙනි, ආර්‍ය්‍ය සත්‍යයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යි. මහණෙනි, මොහු වනාහි සතර ආර්‍ය්‍ය සත්‍යයෝ ය. “මහණෙනි, මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් අතර පිරිසිඳ දතයුතු ආර්‍ය්‍යසත්‍යයන් ඇත්තේය. පහකළ යුතු ආර්‍ය්‍ය සත්‍යයක් ඇත්තේය. ප්‍රත්‍යක්ෂ කළයුතු ආර්යසත්‍යයක් ඇත්තේය. වැඩියයුතු ආර්ය සත්‍යයක් ඇත්තේය. මහණෙනි, පිරිසිඳ දතයුතු ආර්‍ය්‍යසත්‍යය කවරේද? “මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දතයුත්තේය. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය පහකළයුත්තේය. දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කළයුත්තේය. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුත්තේය. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි ... ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.
12. 3. 10.
ගවම්පති සූත්‍රය
1100. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිරභික්ෂූහු සහජාති නුවර සමීපයෙහිවූ චෛත්‍යයන්හි වාසය කෙරෙත්. එසමයෙහි වනාහි සවස් කල්හි පිණ්ඩපාතයෙන් වැළකී මණ්ඩල මාලයෙහි රැස්වී වැඩහුන්නාවූ, බොහෝවූ ස්ථවිර භික්ෂූන් අතරෙහි මේ කථාව පහළවිය. ‘ඇවැත, යමෙක් වනාහි දුක දකීද, හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැති කිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකීය” කියායි
මෙසේ කී කල්හි ආයුෂ්මත් ගවම්පති ස්ථවිරතෙම භික්ෂූන්හට මෙය කීයේය. ඇවැත, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙන් අසනලදී. සම්මුඛයෙන් පිළිගන්නාලදී. “මහණෙනි, යමෙක් දුක දකීද හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැතිකිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකී යමෙක් දුකට හේතුව දකීද, හෙතෙම දුකද දකියි. දුක නැතිකිරීමද දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි. යමෙක් දුක නැතිකිරීම දකියිද හෙතෙම දුකද දකියි. දුකට හේතුවක් දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි. යමෙක් දුක නැතිකරන මාර්ගය දකියිද, හෙතෙම දුකද දකියි. දුකට හේතුවද දකියි. දුක නැතිවීමද දකීය” කියායි.
කොටිගාමවග්ගො තතියො.
එහි උද්දානය:
කොටිගාම සූත්‍ර දෙකක් ද, අභිසම්බුද්ධ, අරහන්ත, ආසවක්ඛය, මිත්ත, තථ, ලෝක, පරිඤ්ඤෙය්‍ය සහ ගවම්පති යන සූත්‍ර ද වෙත්.