12. 3. 4.
යථාභූත අරහන්ත සූත්‍රය
1094. මහණෙනි, අතීතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ ඇති සැටි අවබෝධ කළාහුද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇතිසැටියෙන් අවබෝධ කළාහුය. මහණෙනි, අනාගතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ තත්වූ පරිදි අවබෝධ කරන්නාහුද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇති සැටි අවබෝධ කරන්නාහුය. මහණෙනි, මේ කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ තත්වූ පරිදි අවබෝධ කරත්ද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි අවබෝධ කරත්. කවර සතරක්ද යත්? දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛසමුදය ආර්ය සත්‍යය, දුක්ඛනිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛනිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි. මහණෙනි, අතීතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ ඇති සැටි අවබෝධ කළාහුද ... අනාගතයෙහි ... ඒ සියලු දෙනා මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇතිසැටියෙන් අවබෝධ කරති. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි ... ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.
12. 3. 5.
සච්ච ආසවක්ඛය සූත්‍රය
1095. “මහණෙනි, මම දන්නාවූ දක්නාවූ පුද්ගලයාගේ ආශ්‍රවයන් ක්ෂය කිරීම කියමි. නොදන්නාහුගේ නොදක්නහුගේ නොකියමි. මහණෙනි, කුමක් දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන් ක්ෂයවේද? “මහණෙනි, මෙය දුකයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි. මේ දුකට හේතුවයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි මේ දුක නැති කිරීමයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂය වෙයි. මේ දුක නැතිකරන මාර්ගයයි දන්නහුගේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආශ්‍රව ක්ෂයවෙයි. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි ... ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.
12. 3. 6.
අනුකම්පෙය්‍යාථ සූත්‍රය
1096. “මහණෙනි, යම් කිසිවෙකුට අනුකම්පා කරන්නාහුද, යම්කිසි මිත්‍රයෝ හෝ යහළුවෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ ඇසිය යුත්තෝයයි හඟින්නාහුද? මහණෙනි, ඔවුහු චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇති පරිදි අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුත්තාහ. යෙදිය යුත්තාහ. පිහිටුවිය යුත්තාහ. කවර සතරක ද යත්? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යයෙහි... දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යයෙහි ය. මහණෙනි, යම් කිසිවෙකුට අනුකම්පා කරන්නාහුද, යම්කිසි මිත්‍රයෝ... ඔවුහු මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇති පරිදි අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුත්තාහ. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි ... ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.
12. 3. 7.
අරියධම්ම සූත්‍රය
මහණෙනි, ආර්‍ය්‍ය සත්‍යයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යි. “මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතර වෙනස් නොවන ස්වභාව ඇත්තාහ. හිස් නොවූ ස්වභාවය ඇත්තාහ. අන් ස්වභාවයකට නොපෙරෙලෙන්නාහ. එහෙයින් ආර්‍ය්‍යසත්‍යයෝ යයි කියනු ලැබෙත්. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි ... ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.
12. 3. 8.
අරිය තථාගත සූත්‍රය
මහණෙනි, ආර්‍ය්‍ය සත්‍යයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යි. “මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්වයන් අතරෙහි තථාගතතෙමේ ‘අරිය’ නම් වෙයි. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයෝ යයි කියනු ලැබෙත්. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි ... ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.