12. 3. 2.
නජාතිජරූපග සූත්‍රය
1092. “මහණෙනි, යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි” තත්වූ පරිදි නොදනිත්ද, මේ දුකට හේතුවයයි, තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිවීමයයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මතද, බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතද නොවෙත්. ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මයේදීම තෙමේ දැන ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනිත්ද මේ දුක නැතිවීමයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුක නැතිකිරීමට පැමිණෙන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, මහණෙනි, මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණයයි සම්මතද බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණයයි සම්මතද වෙත් ඒ ආයුෂ්මත්හු වනාහි ශ්‍රමණභාවයේ ඵලය හෝ බ්‍රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයේ දීම තෙමේ දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙයද වදාළසේක:
යම් කෙනෙක් දුක් නොදනිත්ද වැලි දුකට හේතුව නොදනිත්ද යම් ධර්මයෙක්හි දුක ඉතිරි නොවී සර්වප්‍රකාරයෙන් නිරුද්ධවේද, එය නොදනිත්ද
දුක් නැතිකිරීමට පැමිණෙන මාර්ගය නොදනිත්ද, ඔව්හු අර්හත් ඵල සමාධියෙන් පිරිහුණාහ. තවද අර්හත් ඵල ප්‍රඥාවෙන් පිරිහුණාහ.
ඔව්හු දුක් කෙළවර කිරීමට නුසුදුස්සෝය. ඔව්හු ඒකාන්තයෙන් ජාති ජරා දුක් වලට පැමිණෙන්නාහ. යම් කෙනෙක් දුක දනිත්ද යලි දුකට හේතුව දනිත්ද,
යම් තැනෙක දුක ඉතිරි නොවී සර්වප්‍රකාරයෙන් නිරුද්ධ වෙයිනම් එයද දනිත්ද, දුක සංසිඳීමට පැමිණෙන මාර්ගය දනිත්ද,
අර්හත් ඵල සමාධියෙන් හා අර්හත් ඵල ප්‍රඥාවෙන් යුත් ඔව්හු දුක් කෙළවර කිරීමට සුදුස්සෝය. ඔව්හු ජාති ජරා දුකට නොපැමිණෙන්නාහ.
12. 3. 3.
යථාභූත සම්බුද්ධ සූත්‍රය
3865. සැවැත් නුවරදීය.
මහණෙනි, ආර්‍ය්‍ය සත්‍යයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය ය, දුක්ඛසමුදය ආර්‍ය්‍ය සත්‍යය ය, දුක්ඛනිරෝධ ආර්‍ය්‍ය සත්‍යය ය, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය යි. මහණෙනි, මොහු වනාහි සතර ආර්‍ය්‍ය සත්‍යයෝ ය. ‘මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතර තත්වූ පරිදි මනාව අවබෝධකළ හෙයින් තථාගතතෙම සම්මාසම්බුද්ධයයි කියනු ලැබේ. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි. ‘මෙය දුක උපදින හේතුව’ යයි වීර්යය කටයුතුයි. ‘මෙය දුක නැති කිරීම’ යයි වීර්යය කටයුතුයි. ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.
12. 3. 4.
යථාභූත අරහන්ත සූත්‍රය
1094. මහණෙනි, අතීතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ ඇති සැටි අවබෝධ කළාහුද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇතිසැටියෙන් අවබෝධ කළාහුය. මහණෙනි, අනාගතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ තත්වූ පරිදි අවබෝධ කරන්නාහුද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇති සැටි අවබෝධ කරන්නාහුය. මහණෙනි, මේ කාලයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ තත්වූ පරිදි අවබෝධ කරත්ද ඒ සියලු බුදුවරයෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි අවබෝධ කරත්. කවර සතරක්ද යත්? දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛසමුදය ආර්ය සත්‍යය, දුක්ඛනිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛනිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි. මහණෙනි, අතීතයෙහි යම් අර්හත් සම්‍යක් සම්බුදුවරයෝ ඇති සැටි අවබෝධ කළාහුද ... අනාගතයෙහි ... ඒ සියලු දෙනා මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් ඇතිසැටියෙන් අවබෝධ කරති. එහෙයින් මහණෙනි, ‘මෙය දුක’ යයි වීර්යය කටයුතුයි ... ‘මෙය දුක නැති කරන මග’ යයි වීර්යය කටයුතුයි.