12. 3. 10.
ගවම්පති සූත්රය
1100. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිරභික්ෂූහු සහජාති නුවර සමීපයෙහිවූ චෛත්යයන්හි වාසය කෙරෙත්. එසමයෙහි වනාහි සවස් කල්හි පිණ්ඩපාතයෙන් වැළකී මණ්ඩල මාලයෙහි රැස්වී වැඩහුන්නාවූ, බොහෝවූ ස්ථවිර භික්ෂූන් අතරෙහි මේ කථාව පහළවිය. ‘ඇවැත, යමෙක් වනාහි දුක දකීද, හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැති කිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකීය” කියායි
මෙසේ කී කල්හි ආයුෂ්මත් ගවම්පති ස්ථවිරතෙම භික්ෂූන්හට මෙය කීයේය. ඇවැත, මෙය මා විසින් භාග්යවතුන් වහන්සේගේ සම්මුඛයෙන් අසනලදී. සම්මුඛයෙන් පිළිගන්නාලදී. “මහණෙනි, යමෙක් දුක දකීද හෙතෙම දුකට හේතුවත් දකී. දුක නැතිකිරීමත් දකී. දුක නැතිකරන මාර්ගයත් දකී යමෙක් දුකට හේතුව දකීද, හෙතෙම දුකද දකියි. දුක නැතිකිරීමද දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි. යමෙක් දුක නැතිකිරීම දකියිද හෙතෙම දුකද දකියි. දුකට හේතුවක් දකියි. දුක නැතිකරන මාර්ගයද දකියි. යමෙක් දුක නැතිකරන මාර්ගය දකියිද, හෙතෙම දුකද දකියි. දුකට හේතුවද දකියි. දුක නැතිවීමද දකීය” කියායි.
කොටිගාමවග්ගො තතියො.
එහි උද්දානය:
කොටිගාම සූත්ර දෙකක් ද, අභිසම්බුද්ධ, අරහන්ත, ආසවක්ඛය, මිත්ත, තථ, ලෝක, පරිඤ්ඤෙය්ය සහ ගවම්පති යන සූත්ර ද වෙත්.
4. සීසපාවනවග්ගො
12. 4. 1.
සිංසපා සූත්රය
3873. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඇට්ටේරිය වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ වනාහි ඇට්ටේරිය කොළ ස්වල්පයක් ශ්රී හස්තයෙන් ගෙන භික්ෂූන් ඇමතූසේක: “මහණෙනි, ඒ කිමැයි හඟින්නෙහිද? මා විසින් අතින් ගන්නා ලද ඇට්ටේරිය කොළ ස්වල්පයද මේ ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය කොළද යන දෙකින් කවරක් වැඩිද?” “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද ඇට්ටේරිය කොළ ඉතා ස්වල්පය. ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය කොළම වැඩිය.” “මහණෙනි, එසේම මා විසින් අවබෝධ කොට නොකියන ලද්දේම අධිකය. කියන ලද දේ ස්වල්පය. මහණෙනි, කවර හෙයකින් මා විසින් නොකියන ලද්දේද? මහණෙනි, එය අර්ථයෙන් යුක්තවූයේ නොවෙයි. මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල්වන්නේද නොවෙයි. කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධ කිරීම පිණිස, නිවන පිණිස නොපවතියි. එහෙයින් මා විසින් එය නොවදාරණ ලදී.
කිඤ්ච භික්ඛවෙ, මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හේතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී. මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්රහ්මචර්ය්යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස විශේෂයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන පිණිස පවතියි. මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි.”
12. 4. 2.
ඛදිර සූත්රය
3874. මහණෙනි, යමෙක් ‘මම දුක්ඛාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධගාමිණී ප්රතිපදාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවේ. මහණෙනි, යම්සේ යමෙක් ‘මම කිහිරි කොළයකින් හෝ ඉඟුරු පියලිය කොළයකින් හෝ නෙල්ලි කොළයකින් හෝ ගොටුවක් කොට, දිය හෝ තල් කොළයක් හෝ ගෙන යන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවන්නේද මහණෙනි, මෙසේම යමෙක් වනාහි ‘මම දුක්ඛාර්ය්ය ශාක්යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ සමුදයාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධාර්ය්ය සත්යය තත්වූ පරිදි අවබෝධ නොකොට, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාර්ය්ය සත්යය පරිදි අවබෝධ නොකොට මනාකොට දුක් කෙළවර කරන්නෙමි’ යි මෙසේ කියන්නේ නම් එය සිදු නොවේ.