12. 1. 6.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
3848. මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වාකාරයෙන් මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන්ම තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුය. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරන්නාහුද ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරන්නාහුය. මහණෙනි, මෙකල යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි පවසත්. ඒ සතර කවරහුද? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය -පෙ- දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය යනුයි. මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළාහුද, -පෙ- ප්‍රකාශ කරන්නාහුද -පෙ- ප්‍රකාශ කරත්ද ඒ සියලුදෙන මේ සතර ආර්‍ය්‍යය සත්‍යයන් තත්වූ පරිදි මැනවින් අවබෝධ කළ කෙනෙකැයි ප්‍රකාශ කළහ, ප්‍රකාශ කරන්නාහුය, ප්‍රකාශ කරත්. මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි -පෙ- මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.
12. 1. 7.
විතක්ක සූත්‍රය
3849. මහණෙනි, අකුශල විතර්ක කල්පනා නොකරව්, ඒ කවරහුද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක (යනුයි) ඊට හේතු කවරේද? මහණෙනි, මේ විතර්කයෝ අර්ථය පිණිස පවත්නාහු නොවෙති. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වන්නාහු නොවෙත්. කළකිරීම් පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද මනා අවබෝධය පිණිසද නිවන් පිණිසද නොපවතිත්. තෙපි වනාහි කල්පනා කරන්නාහු නම් මේ දුකයයි කල්පනා කරව්. -පෙ- මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යයි කල්පනා කරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කල්පනාවෝ අර්ථය පිණිස පවත්නාහුය. මේ කල්පනාවෝ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව මුල් වෙති. මේ කල්පනාවෝ කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධ පිණිසද, නිවන් පිණිසද පවතිත්. මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි -පෙ- මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.
12. 1. 8.
චින්තා සූත්‍රය
3850. මහණෙනි, ලෝකය සදාකාලිකය කියාද ලෝකය සදාකාලික නොවේයයි කියාද ලොව කෙළවර ඇත කියාද ලොව කෙළවර නැත කියාද, ජීවිතයත් එයමය, ශරීරයත් එයමය කියාද, ජීවය අනිකක්ය, ශරීරය අනිකක්ය කියාද සත්වතෙමේ මරණින් මතු වෙයි හෝ නොවෙයි කියාද, සත්ව තෙමේ මරණින්මතු වන්නේ නොවෙයි හෝ නොවන්නේ නොවෙයි කියාද, ලාමක අකුසල සිත් නොසිතමි. ඊට හේතුව කවරේද? මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස පවත්නාහු නොවෙති. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් නොවෙති. කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද නොපවතී, නිවන් පිණිසද නොපවතියි. මහණෙනි, සිතන්නාවූ තෙපි වනාහි මේ දුකයයි සිතව්. -පෙ- මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි සිතව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ සිතීම අර්ථය පිණිස පවත්නේය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වන්නේය. මේ සිතීම කළකිරීම පිණිසද, නොඇල්ම පිණිසද, නිරෝධය පිණිසද සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි -පෙ- මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.
12. 1. 9.
විග්ගාහිකකථා සූත්‍රය
3851. මහණෙනි, ‘නුඹ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මය විනය දනිමි. කිම, ඔබ මේ ධර්ම විනය දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙක් වෙහිය. මම මනාකොට පිළිපදින්නෙක් වෙමි. මුලදී කියයුත්ත පසුව කීවෙහිය, පසුව කිවයුත්ත පළමුව කීයෙහිය. මගේ කීම සත්‍යය. ඔබගේ කීම අසත්‍යය. විරුද්ධ මඟ ගැනීම නුඹගේ පුරුද්දය, ඔබට වාදය නංවන ලදී. වාදයෙන් මිදීම පිණිස උත්සාහ කරව. නිග්‍රහ කරන ලද්දෙහිය. ඉදින් හැකිනම් නිරවුල් කරවයි’ විරුද්ධ කථා නොකරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ නොවෙයි, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන්නේ නොවෙයි. කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද නිවන් පිණිසද නොපවතියි. මහණෙනි, තෙපි කථාකරන්නාහු නම් මේ දුකයයි කථා කරව්. -පෙ- මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි කථා කරව්. ඊට හේතු කවරේද? මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වෙයි. කලකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, විශේෂයෙන් දැනීම පිණිසද, මනා අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතියි. මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි -පෙ- මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.