12. 1. 2.
පටිසල්ලාන සූත්‍රය
3844. මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙව්. මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙන භික්ෂුතෙම ඇති සැටි දනියි. කුමක් ඇතිසැටි දනීද? මේ දුකයයි තත්වූ පරිදි දනී. -පෙ- මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි තත්වූ පරිදි දනී. මහණෙනි, හුදකලා භාවනාවෙහි යෙදෙව්, හුදකලා භාවනාවෙහි යෙදෙන භික්ෂුතෙම ඇතිසැටි දනියි. මහණෙනි, එබැවින් මෙහිදී (භික්ෂුතෙම) මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි -පෙ- මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැන ගැනීම පිණිස උත්සාහ කටයුතුය.
12. 1. 3.
කුලපුත්ත සූත්‍රය
3845. මහණෙනි, පූර්වකාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙය හැර පියා මනාකොට සස්නෙහි පැවිදි වූවාහුද, ඒ සියලු දෙන වනාහි චතුස්සත්‍ය තත්වූ පරිදි දැන ගැනීම සඳහා පැවිදි වූවාහුය. මහණෙනි, යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙයි හැරපියා මනාකොට සස්නෙහි පැවිදි වන්නාහුද ඒ සියළුදෙනා වනාහි චතුස්සත්‍ය තත්වූ පරිදි දැනගැනීම සඳහා පැවිදි වන්නාහුය. මහණෙනි, දැනුදු යම්කිසි කුලපුත්‍ර කෙනෙක් ගිහි ගෙය හැර මනාකොට සස්නෙහි පැවිදි වෙත්ද ඒ සියලුදෙනද චතුස්සත්‍ය තත්වූ පරිදි දැනගැනීම සඳහා පැවිදිවෙති.
කවර සතරක්ද? දුක්ඛ ආර්‍ය්‍යය සත්‍යයද දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයද දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යයද දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්‍ය්‍යය සත්‍යයද වෙති. මහණෙනි, යම්කිසි අතීත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදි වූවාහුද -පෙ- පැවිදි වන්නාහුද -පෙ- පැවිදි වෙත්ද ඒ සියලුදෙන මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි දැනුම සඳහා පැවිදිවූහ. මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි, -පෙ- මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.
12. 1. 4.
දුතිය කුලපුත්ත සූත්‍රය
3846. මහණෙනි යම්කිසි අතීත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා යහපත්කොට සස්නෙහි පැවිදිව තත්වූ පරිදි අවබෝධ කළාහුද, ඒ සියලුදෙන චතුස්සත්‍යය තත්වූ පරිදි අවබෝධ කළහ. මහණෙනි, යම්කිසි අනාගත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදිවූවාහු තත්වාකාරයෙන් අවබෝධ කළාහුද ඒ සියලුදෙන චතුස්සත්‍යම තත්වූ පරිදි අවබෝධ කරන්නාහ. මහණෙනි මෙකල යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදිව තත්වූ පරිදි අවබෝධ කරත්ද ඒ සියලුදෙන චතුස්සත්‍යම තත්වූ පරිදි අවබෝධ කරත්. කවර සතරක්ද? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය -පෙ- දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය. මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම මනාකොට සස්නෙහි පැවිදි වූවාහු තත්වූ පරිදි අවබෝධ කළාහුද -පෙ- අවබෝධ කරන්නාහුද -පෙ- අවබෝධ කරත්ද, ඒ සියලුදෙන මේ චතුස්සත්‍යම තත්වූ පරිදි අවබෝධ කරත්. මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි -පෙ- මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.
12. 1. 5.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
3847. මහණෙනි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ වෙත්. තත්වූ පරිදි මනාකොට අවබෝධ කළාහුද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබෝධ කළාහුය. මහණෙනි, අනාගත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වාකාරයෙන් අවබෝධ කරන්නාහුද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබෝධ කරන්නාහුය. මහණෙනි, මෙකල වනාහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මනාකොට අවබෝධ කරත්ද, ඒ සියල්ලෝ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබෝධ කරත්. ඒ සතර කවරහුද? දුක්ඛ ආර්‍ය්‍ය සත්‍යය -පෙ- දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්‍ය්‍ය සත්‍යය යනුයි. මහණෙනි, අතීත කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තත්වූ පරිදි මනාකොට අවබෝධ කළාහුද, -පෙ- මනාකොට අවබෝධ කරන්නාහුද -පෙ- මෙකල මනාකොට අවබෝධ කරත්ද, මේ සතර ආර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි මනාකොට අවබෝධ කරත්. මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි -පෙ- මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.