10. 2. 3.
3. පඨම ආනන්ද එකධම්ම සූත්‍රය
989. [1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක උන්හ. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. [2] “ස්වාමීනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ එක් ධර්මයක් ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතරක්, ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතක්, ධර්ම දෙකක් සම්පූර්ණකෙරෙත්ද (එබඳුවූ ධර්මයක්) ඇත්තේද?” “ආනන්දය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ එක් ධර්මයක් ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතරක් ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ධර්ම සතක් ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද? (එබඳුවූ ධර්මයක්) ඇත්තේය.”
[3] “ස්වාමීනි, එක් ධර්මයක් වඩන ලද්දාවූ බහුල කරන ලද්දේ ධර්ම සතරක් සම්පූර්ණ කෙරේද? ධර්ම සතරක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ධර්ම සතක් සම්පූර්ණ කෙරෙත්ද? ධර්ම සතක් වඩන ලද්දාවූ බහුල කරන ලද්දාහු ධර්ම දෙකක් සම්පූර්ණ කෙරෙත්ද? (එබඳුවූ ධර්මය) කවරේද?” [4] “ආනන්දය, එකම ආනාපාන සතිසමාධිය වනාහි වඩන ලද්දේ බහුල කරන ලද්දේ සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කෙරෙයි. සතර සතිපට්ඨාන ධර්මයෝ වඩන ලද්දාහු, බහුල කරන ලද්දාහු සත්තබොජ්ඣංගයන් සම්පූර්ණ කෙරෙත්. සත්ත බොජ්ඣංගයෝ වඩන ලද්දාහු, බහුල කරන ලද්දාහු අර්හත්මාර්ගය හා ඵලය සම්පූර්ණ කෙරෙත්. [5] “ආනන්දය, කෙසේ වඩනලද්දාවූ, කෙසේ බහුල කරන ලද්දාවූ ආනාපාන සතිසමාධිය සතර සතිපට්ඨානයන් සම්පූර්ණ කෙරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ රුක් මුලට ගියේ හෝ සූන්‍යාගාරයට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ භ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය. “මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැන ගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකටකරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකටකරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි චිත්තසංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟකරමින් ප්‍රශ්වාසකරන්නෙමියි හික්මෙයි සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.
[6] “ආනන්දය, යම් කලෙක්හි මහණතෙම වනාහි දීර්ඝව ආශ්වාස කරන්නේ, දීර්ඝව ආශ්වාස කරන්නෙමියි, දනියි. දීර්ඝව ප්‍රශ්වාස කරන්නේ දීර්ඝව ප්‍රශ්වාස කරන්නෙමියි දනියි. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. “මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. [7] “ආනන්දය, එකල්හි කෙලෙස්තවන වීර්‍ය්‍යය ඇත්තාවූ, නුවණින් යුක්තවූ සිහියෙන් යුක්තවූ භික්ෂුව ස්කන්ධ ලෝකයෙහි ලෝභය හා ද්වේෂය දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසයකෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම මේ ආස්වාසය ප්‍රස්වාසය එක්තරා කයක්යයි කියමි. ආනන්දය, එහෙයින් මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරෙයි.
[8] “ආනන්දය, යම් කලෙක මහණතෙම ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. “චිත්තසංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. “ආනන්දය එකල්හි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම මේ ආස්වාස ප්‍රස්වාසයන් මනාකොට මෙනෙහි කිරීම එක්තරා වේදනාවක්යයි කියමි. ආනන්දය, එහෙයින් මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරෙයි.
[9] “ආනන්දය, යම් කලක මහණතෙම ධ්‍යාන සිත දැන ගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, ධ්‍යාන සිත සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, “සිත අතිශයින් සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, සිත සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයිද, අරමුණෙහි සිත පිහිටුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයිද, (නීවරණයන් කෙරෙන්) සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයිද, ආනන්දය, මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ, සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට චිත්තයෙහි චිත්තය නැවත නැවත බලමින් වාසය කෙරෙයි. ඊට හේතු කවරේද? ආනන්දය, මම සිහි මුළාවූ නුවණ නැත්තාට ආනාපාන සතිසමාධි භාවනාව නොවදාරමි. [10] “ආනන්දය, එහෙයින් මෙහි මහණතෙම එකල්හි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, නුවණින් යුක්තවූයේ සිහි ඇත්තේ ස්කන්ධ ලෝකයෙහි ලෝභය සහ ද්වේෂය දුරුකොට චිත්තයන්හි චිත්තය නැවත නැවත බලමින් වාසය කෙරෙයි.