10. 2. 1.
1. ඉච්ඡානංගල සූත්‍රය
3759. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල ජනපදයෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වැඩසිටිසේක එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අමතා මෙසේ වදාළසේක. “මහණෙනි මම විවේකව සිටීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන්නාවූ එක් භික්ෂුවක් හැර කිසිවකු මා වෙත නොපැමිණිය යුතුයි.” “එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය ගෙනයන එක් භික්ෂුවක් හැර භාග්‍යවතුන් වහන්සේ වෙත කිසිවෙක් නොඑළඹියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඉක්මීමෙන් විවේකයෙන් නැගී සිටිසේක් භික්ෂූන්ට කථාකොට මෙසේ වදාළේය. “ඉදින් මහණෙනි, නුඹලාගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වස් කාලය තුළ කවර විහරණයකින් බහුලව විසුවේදැයි මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වනාහි වස්කාලය තුළ බහුලව අනාපාන සති සමාධියෙන් විසූ සේක’ කියායි.
මහණෙනි, මම මෙහි සිහියෙන් යුක්තව ආශ්වාස කරමි; සිහියෙන් යුක්තව ප්‍රශ්වාස කරමි. දිගු කොට ආශ්වාස කරන්නේ හෝ ‘දිගු කොට ආශ්වාස කරමි’යි දනිමි; දිගු කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘දිගු කොට ප්‍රශ්වාස කරමි’යි දනිමි. -පෙ- ‘පටිනිස්සග්ගය (හැරදැමීම) අනුව දකිමින් ආශ්වාස කරන්නෙමි’යි දනිමි; ‘පටිනිස්සග්ගය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමි’යි දනිමි. මහණෙනි, මනාව කියන්නෙක් යමකට ‘ආර්ය විහාරය’ යැයි ද ‘බ්‍රහ්ම විහාරය’ යැයි ද ‘තථාගත විහාරය’ යැයි ද කියන්නේ නම්, මනාව කියන්නා ආනාපානසති සමාධියට ‘ආර්ය විහාරය’ යැයි ද ‘බ්‍රහ්ම විහාරය’ යැයි ද ‘තථාගත විහාරය’ යැයි ද කියන්නේය.
“මහණෙනි, යම් ඒ රහත්බවට නොපැමිණියාවූ, ශෛක්ෂ භික්ෂූහු නිරුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් වාසය කරත්ද, වඩනලද්දාවූ බහුල වසයෙන් වඩනලද්දාවූ ආනාපානාසතිසමාධිය ඔවුන්ගේ ආශ්‍රවයන් ක්ෂයවීම පිණිස පවත්නේය. “මහණෙනි, යම් ඒ අර්හත්වූ ක්ෂයකළ ආශ්‍රවයන් ඇති බඹසර වැස නිමවූ කරනලද කටයුතු ඇති බහා තැබූ කෙලෙස් බර ඇති තමාගේ අර්ථයට පැමිණියාවූ සියලු සසර බැඳුම් ඇති මනාකොට දැන මිදුනාවූ භික්ෂූහු වෙත්ද, වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිසමාධිය ඔවුන්ට මේ අත්බැව්හිම සැප විහරණය පිණිසද සිහි නුවණ දෙක පිණිසද පවත්නේය. “මහණෙනි, යමකට ආර්ය්යවිහාරයයයිද බ්රහ්මවිහාරයයයිද තථාගතවිහාරයයයිද මනාව කියන්නේ නම් ආනාපාන සති සමාධියටම ආර්ය්යවිහාරයයයිද බ්රහ්මවිහාරයයයිද තථාගත විහාරයයයිද මනාව කියයුතු වන්නේය.”
10. 2. 2.
2. ලොමසවඩ්ගීස සූත්‍රය
3760. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ලෝමසවංගීස ස්ථවිරතෙමේ ශාක්‍යරට කිඹුල්වත් පුරයෙහි නිග්‍රොධාරාමයෙහි වාසය කරනසේක. එකල්හි මහානාම සාක්යතෙමේ ආයුෂ්මත් ලොමසවංගීස ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ලෝමසවංගීස ස්ථවිරයන්ට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ මහානාම සාක්යතෙමේ ආයුෂ්මත් ලෝමසවංගීස තෙරුන්ට මෙය කීය. “ස්වාමීනි, සෙඛ විහරණය, තථාගත විහරණය යනු එකක්මද, නොහොත් සෙඛ විහරණය අනිකක්මද? තථාගත විහරණය අනිකක්ද?”
“ඇවැත් මහානාමය, ඒ සෙඛ විහරණය ඒ තථාගත විහරණය නොවන්නේමය. ඇවැත් මහානාමය සෙඛ විහරණය අනිකකි. තථාගත විහරණය අනිකකි. ඇවැත් මහානාමය, යම් මේ රහත් නොවූ ශෛක්ෂ භික්ෂූහු නිරුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරන්නාහු වෙසෙත්ද ඔවුහු පඤ්චනීවරණයන් පහකරමින් වාසය කරත්. ‘කවර නම් පසෙක්ද? කාමච්ඡන්ද නීවරණය පහකොට වෙසෙත්. ව්‍යාපාද නීවරණය පහකොට වෙසෙත්. ථීනමිද්ධ නීවරණය පහකොට වෙසෙත්. උද්ධච්චකුක්කුච්ච නීවරණය පහකොට වෙසෙත්. විචිකිච්ඡා නීවරණය පහකොට වෙසෙත් ඇවැත් මහානාමය, යම් ඒ රහත් නොවූ ශෛක්ෂ භික්ෂූහුද, අනුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් වාසය කරත්ද, ඔවුහු මේ පඤ්ච නීවරණයන් පහකරමින් වාසය කරත්.
“ඇවැත් මහානාමය, අර්හත්වූ ක්ෂය කල ආශ්‍රවයන් ඇති බඹසර වැස නිමවූ කරන ලද කටයුතු ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති තමාගේ අර්ථයට පැමිණියාවූ නැති කල සසර බැඳුම් ඇති, මනාකොට දැන මිදුනාවූ යම් ඒ භික්ෂූහු වෙත්ද ඔවුන්ගේ පඤ්ච නීවරණයෝ පහවූහ. සිඳින ලද මුල් ඇත්තාහ. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දාහ. විනාශ කරන ලදහ. නැවත නූපදින බවට පත්කරන ලදහ. කවර පසෙක්ද? කාමච්ඡන්ද නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳිනලද තල් ගසක්මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත්කරන ලදී. “ව්‍යාපාද නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී. “ථීනමිද්ධ නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල්ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී. “උද්ධච්චකුක්කුච්ච නීවරණය පහවිය. සිඳලු මුල් ඇත්තේය. සිඳින ලද තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී නැවත නූපදින බවට පත්කරන ලදී. “විචිකිච්ඡා නීවරණය පහවිය. සිඳන ලද මුල් ඇත්තේය. සිඳලු තල් ගසක් මෙන් කරන ලදී. විනාශ කරන ලදී. නැවත නූපදින බවට පත් කරන ලදී.