10. 1. 7.
කප්පින සූත්‍රය
3755. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි ආයුෂ්මත් මහාකප්පින තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැනක පළඟ බැඳ, කය ඍජුව තබාගෙන, සිහිය ඉදිරිපත් කොට තබාගෙන වැඩහුන්හ. පළඟ බැඳ, කය ඍජුව තබාගෙන, සිහිය ඉදිරිපත් කොට තබාගෙන නුදුරු තැනක වැඩහුන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. දැක භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි මේ භික්ෂුවගේ කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ දකිව් ද?” “ස්වාමීනි, අපි යම් කලෙක සංඝයා මැද වැඩහුන් හෝ හුදෙකලාව විවේකීව වැඩහුන් හෝ ඒ ආයුෂ්මතුන් දකිමු ද, එකලදු අපි ඒ ආයුෂ්මතුන්ගේ කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොදකිමු.”
“මහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ ද, සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ ද, මහණෙනි, ඒ මහණ ඒ සමාධිය කැමති පරිදි ලබන්නෙක්, පහසුවෙන් ලබන්නෙක්, අපහසුවකින් තොරව ලබන්නෙක් වෙයි. මහණෙනි, කවර සමාධියක් වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ ද, සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ ද? මහණෙනි, ආනාපානසති සමාධිය වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ; සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ.
“මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වැඩූ කල්හි, කෙසේ බහුල වශයෙන් වැඩූ කල්හි කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ ද, සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ ද? මහණෙනි, මේ සාසනයෙහි මහණ ආරණ්‍යයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වැඩූ කල්හි, මෙසේ බහුල වශයෙන් වැඩූ කල්හි කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ; සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ.”
10. 1. 8.
කාය ජීවිත පරියන්තික සූත්‍රය
3756. සැවැත් නුවරදීය.
මහණෙනි, ආනාපානසති සමාධිය වඩන ලද්දේ, බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වෙයි. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ, කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව අරණ්‍යයකට ගියේ හෝ රුක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ -පෙ- පටිනිස්සග්ගය (හැරදැමීම) අනුව දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද්දේ, මෙසේ බහුල කරන ලද්දේ ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංස වෙයි. මහණෙනි, මම ද සම්බෝධියට පෙර බුදු නොවූ බෝසතුන්ව සිටියදීම මේ විහරණයෙන් බහුල වශයෙන් වාසය කළෙමි. මහණෙනි, මේ විහරණයෙන් බහුල වශයෙන් වාසය කරන මාගේ කය ක්ලාන්ත නොවීය; ඇස් ද ක්ලාන්ත නොවීය. මාගේ සිත ද උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුණේය.