1. 3. 7.
කුම්භ සූත්‍රය
27.
“මහණෙනි, යම් සේ ආධාරයක් මත නොතබන ලද කළය කැමති කැමති දිසාවකට පහසුවෙන් පෙරලෙන්නේ වෙයිද ආධාරයක් මත තබන ලද කළය කැමති දිගකට පහසුවෙන් නොපෙරලෙන්නේ වෙයිද මහණෙනි, එමෙන්ම වනාහි ආධාර රහිත සිත පහසුවෙන් පෙරලෙන්නේය. ආධාර සහිත සිත පහසුවෙන් නොපෙරලෙන්නේය. “මහණෙනි, සිතට ආධාරය නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි. හේ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ සිතට ආධාර යයි කියනු ලැබේ. මහණෙනි, යම් සේ ආධාර රහිත කළය කැමති කැමති දිගකට පහසුවෙන් පෙරලෙන්නේද ආධාර සහිත කළය පහසුවෙන් නොපෙරලෙන්නේද එමෙන් මහණෙනි, ආධාර රහිත සිත පහසුවෙන් පෙරලෙන්නේ වේ. ආධාර සහිත සිත පහසුවෙන් නොපෙරළෙන්නේ වේයයි” වදාළසේක.
1. 3. 8.
සමාධි සූත්‍රය
28.
“මහණෙනි, ප්‍රත්‍යය සහිත පිරිවර සහිත ආර්ය වූ සම්‍යක් සමාධිය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ප්‍රත්‍යය සහිත පිරිවර සහිත ආර්ය සමාධිය කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය යනුයි. මහණෙනි, යම්බඳු වූ මේ අංග සතින් යුක්ත වූ චිත්තයාගේ එකඟ බවක් පිරිවර සහිත බවක් වේද? මහණෙනි, ආර්ය සමාධිය ප්‍රත්‍යය සහිත යයි කියාද පිරිවර සහිතයයි කියාද කියනු ලැබේ.
1. 3. 9.
වේදනා සූත්‍රය
29.
“මහණෙනි, මේ වේදනාවෝ තිදෙනෙකි. කවරනම් තිදෙනෙක්දයත්? සුඛ වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ වේදනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ වේදනාවන් පිළිබඳ දැනීම සඳහා ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. ඒ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ ත්‍රිවිධ වේදනාවන් පිරිසිඳ දැනීම සඳහා මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 3. 10.
උත්තිය සූත්‍රය
30.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් උත්තිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් උත්තිය ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, රහසිගතව විවේකීව හුන්නා වූ මාගේ සිතෙහි මෙබඳු අදහසක් පහළවිය. “භාග්‍යවතුන් වහන්සේ විසින් පඤ්චකාම ගුණයෝ වදාරණ ලදහ’ භාග්‍යවතුන් වහන්සේ විසින් කවර නම් පඤ්චකාම ගුණයක් වදාරණ ලද්දේද?”
“උත්තිය, යහපති, යහපති, උත්තිය, මා විසින් මේ කාමගුණයෝ පසක්ම වදාරණ ලදහ. කවරනම් පසක්ද? චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රියවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ රූපයෝ වෙද්ද, සෝත විඥානයෙන් දත යුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ මනවඩන්නාවූ, ප්‍රිය වූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලියයුතුවූ, ශබ්දයෝ වෙද්ද, ඝාණ විඥානයෙන් දතයුතුවූ ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ ගන්ධයෝ වෙද්ද, ජීව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රියවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ රසයෝ වෙද්ද, කායවිඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රියවූ, ඇලීම පිණිස පවත්නාවූ, ඇලිය යුතුවූ ඵොට්ඨබ්බයෝ වෙද්ද, උත්තිය, මේ පඤ්චකාම ගුණයෝ මා විසින් කියන ලදහ. උත්තිය, මේ පඤ්චකාමයන්ගේ ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නම් කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. උත්තිය, මේ පඤ්චකාම ගුණයන්ගේ ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
මිච්ඡත්තවග්ගො තතියො.
එහි උද්දානය:
මිච්ඡත්ත, අකුසලධම්ම, පටිපදා දෙකක් ද, අසප්පුරිස සූත්‍ර දෙකක් ද, කුම්භ, සමාධි, වෙදනා සහ උත්තිය සූත්‍රය ද වේ.