1. 3. 4.
දුතිය පටිපදා සූත්‍රය
24.
“මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිපැදීම වර්ණනා නොකරමි. මහණෙනි, වරදවා පිළිපදින ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි පිළිපැදීම හේතු කොට ගෙන කුසල වූ ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්නෙක් නොවේ. මහණෙනි, වැරදි පිළිපැදීම කවරේද? ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මේ වැරදි පිළිපැදීම යයි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිපැදීම වර්ණනා නොකරමි. මහණෙනි, වැරදි සේ පිළිපදින ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි පිළිපැදීම හේතුකොට ගෙන කුසල වූ ආර්ය මාර්ග ධර්මය සම්පූර්ණ කරන්නෙක් නොවන්නේය.
“මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි. මහණෙනි, යහපත්ව පිළිපදින්නා වූ ගිහියා හෝ පැවිද්දා හෝ යහපත් පිළිපැදීම හේතු කොට ගෙන කුසල වූ ආර්ය මාර්ග ධර්මය සම්පූර්ණ කරන්නේ වෙයි. මහණෙනි, යහපත් පිළිපැදීම කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේය. මහණෙනි, මේ යහපත් පිළිපැදීම යයි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි. මහණෙනි, යහපත්ව පිළිපදින්නා වූ ගිහියා හෝ පැවිද්දා හෝ යහපත් පිළිපැදීම හේතුකොට ගෙන කුසල වූ ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්නෙක් වන්නේය.
1. 3. 5.
පඨම අසප්පුරිස සූත්‍රය
25.
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද සත්පුරුෂයාද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේවේද මිථ්‍යා සංකල්පය ඇත්තේ වේද මිථ්‍යා වචනය ඇත්තේ වේද මිථ්‍යා කර්මාන්තය ඇත්තේවේද මිථ්‍යා ආජීවය ඇත්තේවේද මිථ්‍යා ව්‍යායාමය ඇත්තේවේද මිථ්‍යා සතිය ඇත්තේවේද මිථ්‍යා සමාධිය ඇත්තේවේද, මහණෙනි, මේ තෙමේ අසත්පුරුෂයා යයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයිද සම්‍යක් සංකල්පය ඇත්තේ වෙයිද සම්‍යක් වචනය ඇත්තේ වෙයිද සම්‍යක් කර්මාන්තය ඇත්තේ වෙයිද, සම්‍යක් ආජීවය ඇත්තේ වෙයිද සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වෙයිද සම්‍යක් සතිය ඇත්තේ වෙයිද සම්‍යක් සමාධිය ඇත්තේ වෙයිද මහණෙනි, මේ තෙමේ සත්පුරුෂයායයි කියනු ලැබේ.
1. 3. 6.
දුතිය අසප්පුරිස සූත්‍රය
26.
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂයාද දේශනා කරන්නෙමි. සත්පුරුෂයාද සත්පුරුෂයාට වඩා අතිශයින් සත්පුරුෂයාද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් මිථ්‍යාදෘෂ්ටිය ඇත්තේවේද මිථ්‍යා සංකල්පය ඇත්තේ වේද මිථ්‍යා වචනය ඇත්තේවේද මිථ්‍යා කර්මාන්තය ඇත්තේ වේද මිථ්‍යා ආජීවය ඇත්තේ වේද මිථ්‍යා ව්‍යායාමය ඇත්තේ වේද මිථ්‍යා සතිය ඇත්තේ වේද මිථ්‍යා සමාධිය ඇත්තේ වේද මහණෙනි, මේ තෙම අසත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් මිථ්‍යා දෘෂ්ටිය ඇත්තේ වේද මිථ්‍යා සංකල්පය ඇත්තේ වේද මිථ්‍යා වචනය ඇත්තේ වේද මිථ්‍යා කර්මාන්තය ඇත්තේවේද මිථ්‍යා ආජීවය ඇත්තේ වේද මිථ්‍යා ව්‍යායාමය ඇත්තේ වේද මිථ්‍යා සතිය ඇත්තේ වේද මිථ්‍යා සමාධිය ඇත්තේවේද මිථ්‍යා ඤාණය ඇත්තේ වේද මිථ්‍යා විමුක්තිය ඇත්තේ වේද මහණෙනි, මේ තෙමේ අසත්පුරුෂයාට වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ. “මහණෙනි, සත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වේද සම්‍යක් සංකල්පය ඇත්තේ වේද සම්‍යක් වචනය ඇත්තේ වේද සම්‍යක් කර්මාන්තය ඇත්තේ වේද සම්‍යක් ආජීවය ඇත්තේ වේද සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වේද සම්‍යක් සතිය ඇත්තේ වේද සම්‍යක් සමාධිය ඇත්තේ වේද මහණෙනි, මේ තෙම සත්පුරුෂයා යයි කියනු ලැබේ. මහණෙනි, සත්පුරුෂයාට වඩා අතිශය සත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වේද සම්‍යක් සංකල්පය ඇත්තේ වේද සම්‍යක් වචනය ඇත්තේ වේද සම්‍යක් කර්මාන්තය ඇත්තේ වේද සම්‍යක් ආජීවය ඇත්තේ වේද සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වේද සම්‍යක් සතිය ඇත්තේ වේද සම්‍යක් සමාධිය ඇත්තේ වේද සම්‍යක් ඤාණය ඇත්තේ වේද සම්‍යක් විමුක්තිය ඇත්තේ වේද මහණෙනි, මේ තෙමේ සත්පුරුෂයාට වඩා අතිශය සත්පුරුෂයා යයි කියනු ලැබේ.”
1. 3. 7.
කුම්භ සූත්‍රය
27.
“මහණෙනි, යම් සේ ආධාරයක් මත නොතබන ලද කළය කැමති කැමති දිසාවකට පහසුවෙන් පෙරලෙන්නේ වෙයිද ආධාරයක් මත තබන ලද කළය කැමති දිගකට පහසුවෙන් නොපෙරලෙන්නේ වෙයිද මහණෙනි, එමෙන්ම වනාහි ආධාර රහිත සිත පහසුවෙන් පෙරලෙන්නේය. ආධාර සහිත සිත පහසුවෙන් නොපෙරලෙන්නේය. “මහණෙනි, සිතට ආධාරය නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි. හේ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ සිතට ආධාර යයි කියනු ලැබේ. මහණෙනි, යම් සේ ආධාර රහිත කළය කැමති කැමති දිගකට පහසුවෙන් පෙරලෙන්නේද ආධාර සහිත කළය පහසුවෙන් නොපෙරලෙන්නේද එමෙන් මහණෙනි, ආධාර රහිත සිත පහසුවෙන් පෙරලෙන්නේ වේ. ආධාර සහිත සිත පහසුවෙන් නොපෙරළෙන්නේ වේයයි” වදාළසේක.
1. 3. 8.
සමාධි සූත්‍රය
28.
“මහණෙනි, ප්‍රත්‍යය සහිත පිරිවර සහිත ආර්ය වූ සම්‍යක් සමාධිය දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, ප්‍රත්‍යය සහිත පිරිවර සහිත ආර්ය සමාධිය කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය යනුයි. මහණෙනි, යම්බඳු වූ මේ අංග සතින් යුක්ත වූ චිත්තයාගේ එකඟ බවක් පිරිවර සහිත බවක් වේද? මහණෙනි, ආර්ය සමාධිය ප්‍රත්‍යය සහිත යයි කියාද පිරිවර සහිතයයි කියාද කියනු ලැබේ.