1. 3. 2.
අකුසලධම්ම සූත්‍රය
22.
“මහණෙනි, තොපට අකුසල ධර්මයන්ද කුසල ධර්මයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අකුසල ධර්මයෝ කවරහුද? ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මොව්හු අකුසල ධර්මයෝයයි කියනු ලැබේ.
“මහණෙනි, කුසල ධර්මයෝ කවරහුද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, මොව්හු කුසල ධර්මයෝයයි කියනු ලැබෙත්.
1. 3. 3.
පඨම පටිපදා සූත්‍රය
23.
“මහණෙනි, තොපට වැරදි පිළිපැදීමද දේශනා කරන්නෙමි. යහපත් පිළිපැදීමද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, වැරදි පිළිපැදීම කවරේද යත් ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මේ වැරදි පිළිපැදීමයයි කියනු ලැබේ.
“මහණෙනි, යහපත් පිළිපැදීම කවරේද? ඒ මෙසේයි සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. මහණෙනි, මේ යහපත් පිළිපැදීමයයි කියනු ලැබේ.
1. 3. 4.
දුතිය පටිපදා සූත්‍රය
24.
“මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිපැදීම වර්ණනා නොකරමි. මහණෙනි, වරදවා පිළිපදින ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි පිළිපැදීම හේතු කොට ගෙන කුසල වූ ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්නෙක් නොවේ. මහණෙනි, වැරදි පිළිපැදීම කවරේද? ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය, මිථ්‍යා සමාධිය යන මොහුය. මහණෙනි, මේ වැරදි පිළිපැදීම යයි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ වැරදි පිළිපැදීම වර්ණනා නොකරමි. මහණෙනි, වැරදි සේ පිළිපදින ගිහියා හෝ පැවිද්දා හෝ වැරදි පිළිපැදීම හේතුකොට ගෙන කුසල වූ ආර්ය මාර්ග ධර්මය සම්පූර්ණ කරන්නෙක් නොවන්නේය.
“මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි. මහණෙනි, යහපත්ව පිළිපදින්නා වූ ගිහියා හෝ පැවිද්දා හෝ යහපත් පිළිපැදීම හේතු කොට ගෙන කුසල වූ ආර්ය මාර්ග ධර්මය සම්පූර්ණ කරන්නේ වෙයි. මහණෙනි, යහපත් පිළිපැදීම කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේය. මහණෙනි, මේ යහපත් පිළිපැදීම යයි කියනු ලැබේ. මහණෙනි, මම ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ යහපත් පිළිපැදීම වර්ණනා කරමි. මහණෙනි, යහපත්ව පිළිපදින්නා වූ ගිහියා හෝ පැවිද්දා හෝ යහපත් පිළිපැදීම හේතුකොට ගෙන කුසල වූ ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්නෙක් වන්නේය.
1. 3. 5.
පඨම අසප්පුරිස සූත්‍රය
25.
“මහණෙනි, තොපට අසත්පුරුෂයාද සත්පුරුෂයාද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතමෙක් මිථ්‍යාදෘෂ්ටි ඇත්තේවේද මිථ්‍යා සංකල්පය ඇත්තේ වේද මිථ්‍යා වචනය ඇත්තේ වේද මිථ්‍යා කර්මාන්තය ඇත්තේවේද මිථ්‍යා ආජීවය ඇත්තේවේද මිථ්‍යා ව්‍යායාමය ඇත්තේවේද මිථ්‍යා සතිය ඇත්තේවේද මිථ්‍යා සමාධිය ඇත්තේවේද, මහණෙනි, මේ තෙමේ අසත්පුරුෂයා යයි කියනු ලැබේ.
“මහණෙනි, සත්පුරුෂයා නම් කවරෙක්ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් සම්‍යක් දෘෂ්ටිය ඇත්තේ වෙයිද සම්‍යක් සංකල්පය ඇත්තේ වෙයිද සම්‍යක් වචනය ඇත්තේ වෙයිද සම්‍යක් කර්මාන්තය ඇත්තේ වෙයිද, සම්‍යක් ආජීවය ඇත්තේ වෙයිද සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වෙයිද සම්‍යක් සතිය ඇත්තේ වෙයිද සම්‍යක් සමාධිය ඇත්තේ වෙයිද මහණෙනි, මේ තෙමේ සත්පුරුෂයායයි කියනු ලැබේ.