1. 14. 37-40.
නාවා සූත්‍ර
215-218. “මහණෙනි, යම් සේ වේවැල්වලින් බඳිනලද සය මාසයක් ජලයෙහි තිබුණු මුහුදෙහි ගමන්කරන ඔරුවක් හේමන්ත කාලයෙහි ගොඩබිමට අදනාලද්දේවේද එහි අවු සුළඟින් වියලීගිය බැමි වර්ෂා කාලයෙහි හටගත් මහා වැස්සෙන් ලෙහෙසියෙන් ලිහී යන්නේද, දිරා යන්නේද මහණෙනි, එසේම ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහුගේ සංයෝජනයෝ ලෙහෙසියෙන්ම සංසිඳී යත්, දිරා යත්. මහණෙනි, ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහුගේ සංයෝජනයෝ කෙසේ සංසිඳීමටයත්ද, දිරීමට යත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණහුගේ සංයෝජනයෝ පහසුවෙන් සංසිඳීමට යත් දිරීමටයත්යයි” වදාළසේක.
1. 14. 41-44.
ආගන්තුක සූත්‍ර
219-222. “මහණෙනි, යම්සේ ආගන්තුකාගාරයක් (ආගන්තුකයන් නවතින ගෙයක්) වේද? එහි පෙරදිගින්ද පැමිණ වාසය කරත්, පශ්චිම දිසාවෙන්ද පැමිණ වාසය කරත්. උතුරු දිගින් පැමිණ වාසය කරත්. දකුණු දිගින් පැමිණ වාසය කරත්. ක්ෂත්‍රියයෝද පැමිණ වාසය කරත්. බ්‍රාහ්මණයෝද පැමිණ වාසය කරත්. වෛශ්‍යයෝද පැමිණ වාසය කරත්. ශුද්‍රයෝද පැමිණ වාසය කරත්.
එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො යෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා පජහති. යෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා සච්ඡිකරොති. යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙති.
“මහණෙනි, කවර ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගතයුත්තාහුද, පඤ්ඤා උපාදානස්කන්ධයෝයයි කිවයුතුයි. කවර පසෙක්ද? ඒ මෙසේයි. රූපඋපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුයි. “මහණෙනි, මේ ධර්මයෝ වනාහි විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගතයුත්තාහුය. “මහණෙනි, කවර ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් පහකළයුත්තාහුද? මහණෙනි, අවිද්‍යාවද, භව තෘෂ්ණාවද යන මොහුයි. මහණෙනි, මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් පහකළ යුත්තාහුය. “මහණෙනි, කවර ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළයුත්තාහුද? මහණෙනි. මාර්ගඵල නිර්වාණ යන මොහුය. මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුත්තාහුය. “මහණෙනි, කවර ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් වැඩියයුත්තාහුද? මහණෙනි, සමථයද, විදර්ශනාවද වෙයි. මහණෙනි, මේ ධර්මයෝ විශේෂ ඥානයෙන් වැඩිය යුත්තාහ. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ යම් ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගතයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගන්නේද, යම් ඒ ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් පහකළ යුත්තාහුද ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් පහකරන්නේද? යම් ඒ ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කටයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේද, යම් ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් වැඩියයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් වඩන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මෙසේ වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ යම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් පිරිසිඳ දතයුත්තාහුද ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්ම කෙනෙක් විශේෂ ඥානයෙන් පහකළ යුත්තාහුද? ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් පහකරයි. යම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළයුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරයි. යම් ධර්මකෙනෙක් විශේෂ ඥානයෙන් වැඩිය යුත්තාහුද, ඒ ධර්මයන් විශේෂ ඥානයෙන් වඩන්නේ යයි” වදාළසේක.
1. 14. 45-48.
නදී සූත්‍ර
223-226. “මහණෙනි, යම්සේ ගංගානම් ගඟ පෙරදිගට නැමී පෙරදිගට හැරී පෙරදිගට බරව පවත්නේ වේද? මෙසේ පවත්නා කල්හි මහජන සමූහයක් උදලු හා කූඩා රැගෙන ‘අපි මේ ගංගා නදිය පශ්චිම දිශාවට නැමී පශ්චිම දිසාවට හැරී පශ්චිම දිසාවට බරව පවත්නක් කරන්නෙමුයි’ එන්නේය. “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? ඒ මහජන සමූහයා ඒ ගංගානම් මහ නදිය පශ්චිම දිසාවට නැමී පශ්චිම දිසාවට හැරී පශ්චිම දිසාවට බරව පවත්නක් කරන්නේද?” “ස්වාමීනි, එය එසේ නොවේ.” “ඊට හේතුව කවරේද?” “ස්වාමීනි, ගංගානම් නදිය පෙරදිගට නැමී, පෙරදිගට හැරී, පෙරදිගට බරව පවත්නීය. ඒ නදිය පශ්චිම දිසාවට නැමී පශ්චිම දිසාවට හැරී, පශ්චිම දිසාවට බරව පවත්නක් කිරීම ලෙහෙසි නැත. හුදෙක් ඒ මහජන සමූහයා ක්ලාන්ත බවට වෙහෙසීමට පැමිණෙන්නේය.”