1. 14. 13-16.
රුක්ඛ සූත්‍ර
191-194. “යම්සේ මහණෙනි, පෙරදිගට නැමුනු පෙරදිගට හැරුණු පෙරදිගට බරවූ වෘක්ෂයතෙම මුල් කැපූ කල්හි කිනම් පැත්තකට වැටෙන්නේද? “ස්වාමීනි, යම් දිගකට නැමුනේද? යම් දිගකට හැරුණේද යම් දිගකට බරව පවත්නේද? ඒ දිගට වැටෙයි.” “මහණෙනි, එසේම වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුනේ නිවනට හැරුණේ නිවනට බරව පවත්නේ වේ. මහණෙනි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ නිවනට නැමුනේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ නිවනට නැමුණේ නිවනට හැරුණේ නිවනට බරවූයේ වේයයි” වදාළසේක.
1. 14. 17-20.
කුම්භ සූත්‍ර
195-198. “යම්සේ මහණෙනි, යටිකුරුකල කළය ජලය වගුරුවයි. එහි ජලය නොරඳයි. මහණෙනි, එසේම මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ලාමක අකුසල ධර්මයන් වමාරයි. ඒ අකුසල ධර්මයන් නොරඳයි. මහණෙනි ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන මහණතෙම කෙසේ ලාමක අකුසල ධර්මයන් වමාරාද, ලාමක අකුසල ධර්මයන් නොරඳාද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහී මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ලාමක අකුසල ධර්මයන් වමාරයි. ලාමක අකුසල ධර්මයන් නොරඳායයි” වදාළසේක.
1. 14. 21-24.
සූක සූත්‍ර
199-202. “යම්සේ මහණෙනි, මනාව කෙළින් තැබූ හැල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් අතින් ඇල්ලුකල හෝ පයින් පෑගු කල අත හෝ පය කැපෙයි. ලේ හෝ ගලයි යන මේ කාරණය විද්‍යමාන වෙයි. ඊට හේතු කවරේද? මහණෙනි, නණ්ඩුව මනාකොට තබනලද හෙයිනි. එමෙන්ම වනාහි ඒකාන්තයෙන් ඒ මහණතෙම මනාකොට තබනලද දෘෂ්ටියෙන් මනාකොට තබනලද මාර්ග භාවනාවෙන් අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවයි. නිවන ප්‍රත්‍යක්ෂ කරයි යන මේ කාරණය විද්‍යමානයි. ඊට හේතු කවරේද යත්. මහණෙනි, දෘෂ්ටිය මනාකොට තබනලද හෙයිනි. මහණෙනි, මනාකොට පිහිටුවන ලද දෘෂ්ටියෙන් මනාකොට පිහිටුවනලද මාර්ග භාවනාවෙන් මහණතෙම කෙසේ අවිද්‍යාව සිඳීද? විද්‍යාව උපදවයිද? නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි... (පෙ)... සම්‍යක් සමාධිය වඩයි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු. “මහණෙනි, මෙසේ වනාහි මහණතෙම මනාකොට පිහිටුවනලද දෘෂ්ටියෙන් මනාකොට පිහිටුවන මාර්ග භාවනාවෙන් අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවයි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේයයි” වදාළසේක.
1. 14. 25-28.
ආකාස සූත්‍ර
203-206. “මහණෙනි, යම්සේ අහසෙහි වාතයෝ හමත්ද, පෙරදිගින්ද වාතයෝ හමත්. අපරදිගින්ද වාතයෝ හමත්. උතුරුදිගින්ද වාතයෝ හමත්. දකුණු දිගින්ද වාතයෝ හමත්. දූලි සහිත වාතයෝද හමත්. දූලි රහිත වාතයෝද හමත්. සීත වාතයෝද හමත්. උෂ්ණ වාතයෝද හමත්. කුඩා වාතයෝද හමත්. මහත් වාතයෝද හමත්.