1. 1. 3.
3. සාරිපුත්ත සූත්‍රය
3. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. “ස්වාමීනි, යම් ඒ කල්‍යාණ මිත්‍රයින් ඇතිබවක්වේද කල්‍යාණමිත්‍රයින් සහායකොට ඇති බවක් වේද, කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇතිබවක් වේද එය මේ සියලු ආර්යමාර්ගය පිණිස පවත්නේය.” “සාදු! සාදු! ශාරිපුත්‍රය! ශාරිපුත්‍රය! යම් ඒ කල්‍යාණ මිත්‍රයින් ඇති බවක් වේද, කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇතිබවක් වේද, කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇති බවක් වේද, එය සියලු ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පිණිස වෙයි. “ශාරිපුත්‍රය, කල්‍යාණ මිත්‍රයින් ඇති කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇති කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුණු සිත් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි කැමති විය යුතුය.
ශාරිපුත්‍රය, කෙසේ නම් භික්ෂුව කල්‍යාණ මිත්‍රයින් ඇතිව, කල්‍යාණ මිත්‍රයින් සහාය කොට ඇතිව, කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුණු සිත් ඇතිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් කෙරේද? ශාරිපුත්‍රය, මේ ශාසනයෙහි භික්ෂුතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, වොස්සග්ගපරිණාමී වූ සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, වොස්සග්ගපරිණාමී වූ සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ වොස්සග්ගපරිණාමී වූ සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ වොස්සග්ගපරිණාමී වූ සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ වොස්සග්ගපරිණාමී වූ සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ වොස්සග්ගපරිණාමී වූ සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ වොස්සග්ගපරිණාමී වූ සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ වොස්සග්ගපරිණාමී වූ සම්‍යක් සමාධිය වඩයි. ශාරිපුත්‍රය, මෙසේ වනාහි භික්ෂුව කල්‍යාණ මිත්‍රයින් ඇතිව, කල්‍යාණ මිත්‍රයින් සහාය කොට ඇතිව, කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුණු සිත් ඇතිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් කරයි.
ශාරිපුත්‍රය, මේ ක්‍රමයෙන්ද මෙය දත යුතුය: යම් හෙයකින් මුළු මහත් බ්‍රහ්මචර්යාවම කල්‍යාණ මිත්‍රතාවයද, කල්‍යාණ සහායතාවයද, කල්‍යාණ සම්පවංකතාවයද වේ. ශාරිපුත්‍රය, කල්‍යාණ මිත්‍රවූ මා නිසා ඉපදීම ස්වභාවකොට ඇති සත්වයෝ ඉපදීමෙන් මිදෙති, ජරාව ස්වභාවකොට ඇති සත්වයෝ ජරාවෙන් මිදෙති, මරණය ස්වභාව කොට ඇති සත්වයෝ මරණයෙන් මිදෙති. සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් ස්වභාවකොට ඇති සත්වයෝ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන්ගෙන් මිදෙත්. ශාරිපුත්‍රය, මේ ක්‍රමයෙන් මෙය දතයුතුය: යම් හෙයකින් මුළු මහත් බ්‍රහ්මචර්යාවම කල්‍යාණ මිත්‍රතාවයද, කල්‍යාණ සහායතාවයද, කල්‍යාණ සම්පවංකතාවයද වේ.
1. 1. 4.
4. බ්‍රාහ්මණ සූත්‍රය
4. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක.
එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස වැඩියහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සුදු වෙළඹුන් යෙදූ සියල්ල සුදුවූ රථයකින් සැවැත් නුවර යන්නාවූ ජානුස්සොණි බ්‍රාහ්මණයා දුටුවේය. (එකී රථයෙහි) සුදු අශ්වයෝ යොදන ලද්දාහු වෙත්. ආභරණද සුදුය. රථයද සුදුය. ඇතිරිළිද සුදුය. රැහැන්ද සුදුය. කෙවිටද සුදුය. (රථයෙහි නැංවූ) ඡත්‍රයද සුදුය. හිස් වෙලුමද සුදුය. (හැඳි) වස්ත්‍රද සුදුය. පාවහන්ද සුදුය. සුදු විජිනිපතින් පවන් සලයි. මිනිසුන් එය දැක ‘පින්වත්නි, මෙය උතුම් යානයකි. පින්වත්නි, ඒකාන්තයෙන් උතුම් යානයක ස්වභාවය ඇත්තේයයි” කීහ.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස වැඩ පස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය. “ස්වාමීනි, පෙරවරුවෙහි මම හැඳ පොරවා පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස ගියෙමි. ස්වාමීනි, සුදු වෙළඹුන් යෙදූ සියල්ල සුදු රථයකින් සැවැත් නුවර යන්නාවූ ජානුස්සොණි බ්‍රාහ්මණයා මම දුටුවෙමි. (එම රථයෙහි) සුදු අශ්වයෝ යොදන ලද්දාහු වෙති. ආභරණද සුදුය. රථයද සුදුය. ඇතිරිළිද සුදුය. රැහැන්ද සුදුය. කෙවිටද සුදුය. (රථයෙහි නැංවූ) ඡත්‍රයද සුදුය. සුදු විජිනිපත්වලින් පවන් සලයි. එය දුටු මිනිස්සු ‘පින්වත්නි, ඒකාන්තයෙන් මේ උතුම් යානයකි. පින්වත්නි, ඒකාන්තයෙන් මෙය උතුම් යානයක ස්වභාවය ඇත්තේයයි’ කීහ. ස්වාමීනි, මේ (ධර්මවිනය නම්) ශාසනයෙහි උතුම් යානයක් පනවන්ට හැක්කේද?
“ආනන්දයෙනි, හැකිය"යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. “ආනන්දය, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයටම උතුම් යයි කියාද ධර්මයානයයි කියාද නිරුත්තර සංග්‍රාම විජයයි කියාද නමකි. “වඩන ලද බහුල කරනලද සම්‍යක් දෘෂ්ටිය රාගය දුරු කිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වේෂය දුරු කිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේ වෙයි. “ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් සංකල්පය රාගය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මෝහය දුරු කිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. “ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් වචනය රාගය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වේෂය පහකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මෝහය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. “ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් කර්මාන්තය රාගය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මෝහය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි.