9. 2. 1446-1501.
මුත්ති සූත්‍ර
1884-1939. මහණෙනි, මම තොපට දුකින් මිදුණු තැන (මුත්තිය) ද දේශනා කරන්නෙමි. දුකින් මිදුණු තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1502-1557.
අනාලය සූත්‍ර
1940-1995. මහණෙනි, මම තොපට ආලය රහිත ධර්මයද දේශනා කරන්නෙමි. ආලය රහිත ධර්මයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1558-1613.
දීප සූත්‍ර
1996-2051. මහණෙනි, මම තොපට පිහිට වන ධර්මය (දීපය) ද දේශනා කරන්නෙමි. පිහිට වන ධර්මයට පැමිණෙන මඟද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1614-1669.
ලෙණ සූත්‍ර
2052-2107. මහණෙනි, මම තොපට සැඟවෙන තැන (ලෙණ) ද දේශනා කරන්නෙමි. සැඟවෙන තැනට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1670-1725.
තාණ සූත්‍ර
2108-2163. මහණෙනි, මම තොපට ආරක්ෂක ස්ථානය (තාණ) ද දේශනා කරන්නෙමි. ආරක්ෂක ස්ථානයට පැමිණෙන මාර්ගයද දෙසන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1726-1781.
සරණ සූත්‍ර
2164-2219. මහණෙනි, මම තොපට භය නැති කිරීම (සරණ) ද, භය නැති කරන මාර්ගයද දේශනා කරන්නෙමි -පෙ- අනුශාසනාවයි.
9. 2. 1782-1837.
පරායණ සූත්‍ර
2220-2275. මහණෙනි, මම තොපට පිහිට (පරායණය) ද, පිහිටවන මාර්ගයද දේශනා කරන්නෙමි. එය අසව්. කවරේද මහණෙනි පරායණය? යම් රාගය ක්ෂයවීමක් වේද, ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද, මහණෙනි, මේ පරායණයයි කියනු ලැබේ. මහණෙනි, පරායණගාමී මාර්ගය කවරේද යත්: කයගතාසතිය. මහණෙනි, මෙය පරායණගාමී මාර්ගයයි කියනු ලැබේ.
මහණෙනි, මෙසේ මම තොපට පරායණය දෙසන ලදී, පරායණගාමී මාර්ගයද දෙසන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත් අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් යමක් කළ යුතු නම් එය මා විසින් තොපට අනුකම්පා උපදවා කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝයි. අර ශුන්‍යාගාරයෝයි. මහණෙනි, භාවනා කරව්. ප්‍රමාද නොවව්. පසුව පසුතැවිලි නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.
(අසංඛතය මෙන් විස්තර කළ යුතුය).
දුතිය අසංඛත වර්ගයයි.
එහි උද්දානය:
අසංඛතය, අන්තය, අනාසවය, සච්චය, පාරය, නිපුණ, සුදුද්දස, අජර, ධුව, අපලොකිත, අනිදස්සන, නිප්පපඤ්ච හා සන්ත ද
අමතය, පණීතය, සිව, ඛෙම, තණ්හක්ඛය, අච්ඡරිය, අබ්භූත, අනීතික, අනීතිකධම්ම හා නිබ්බානය ද සුගතයන් වහන්සේ විසින් දෙසන ලදී
අබ්‍යාපජ්ඣ, විරාග, සුද්ධි, මුත්ති, අනාලය, දීප, ලෙණ, තාණ, සරණ සහ පරායණ යැයි (මේ ධර්ම ක්‍රම වදාරන ලදී)
අසංඛත සංයුත්තය නිමි.