9. 1. 1.
කායගතාසති සූත්‍රය
428. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි තොපට අසංඛතයද, අසංඛතගාමී මඟද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගය ක්ෂයවීමක් වේද, යම් ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, මේ කායගතාසතිය අසංඛතගාමී මාර්ගයයි.”
“මහණෙනි, මා විසින් මෙසේ තොපට අසංඛතයත් දේශනා කරන ලදී. අසංඛතගාමී මඟත් දේශනා කරන ලදී. මහණෙනි, ශ්‍රාවකයන්ගේ හිතවැඩ කැමැත්තා වූ අනුකම්පා කරන්නා වූ ශාස්තෘවරයකු විසින් යමක් කටයුතුද, එය මා විසින් තොපට කරන ලදී. මහණෙනි, අර වෘක්ෂමූලයෝ වෙත්. ශුන්‍යාගාරයෝ වෙත්. භාවනා කරව්. මහණෙනි, ප්‍රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 2.
සමථවිපස්සනා සූත්‍රය
429. “මහණෙනි තොපට අසංඛතයද, අසංඛතගාමී මඟද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගය ක්ෂයවීමක් වේද, යම් ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, (සමථ) සිත එකඟ කිරීමද, (විපස්සනා) සිත පිරිසිදු කිරීමද අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 3.
සවිතක්කසවිචාර සූත්‍රය
430. “මහණෙනි තොපට අසංඛතයද, අසංඛතගාමී මඟද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, අසංඛතය කවරේ ද යත්: මහණෙනි, යම් රාගය ක්ෂයවීමක් වේද, යම් ද්වේෂය ක්ෂයවීමක් වේද, මෝහය ක්ෂයවීමක් වේද මහණෙනි, මේ අසංඛතයයි කියනු ලැබේ. මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: විතර්ක සහිත විචාර සහිත සමාධිය, අවිතර්ක විචාරමාත්‍ර සමාධිය, අවිතර්ක අවිචාර සමාධිය යන මෙය මහණෙනි, අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 4.
සුඤ්ඤතසමාධි සූත්‍රය
431. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිහිත සමාධිය යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 5.
සතිපට්ඨාන සූත්‍රය
432. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සතර සතිපට්ඨාන යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 6.
සම්මප්පධාන සූත්‍රය
433. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සතර සම්‍යක් ප්‍රධාන යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 7.
ඉද්ධිපාද සූත්‍රය
434. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සතර ඍද්ධිපාද යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 8.
ඉන්ද්රිය සූත්‍රය
435. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: පඤ්ච ඉන්ද්‍රිය යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 9.
බල සූත්‍රය
436. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, පඤ්චබල යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”
9. 1. 10.
බොජ්ඣඞ්ග සූත්‍රය
437. “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේ ද යත්: මහණෙනි, සප්ත බොජ්ඣංග යන මෙය අසංඛතගාමී මාර්ගයයි. ...පෙ... තොපට මේ අපගේ අනුශාසනයයි.”