4. 1. 12.
උපාදාන සූත්‍රය
327. “ඇවැත්නි ශාරිපුත්‍රය, උපාදානය උපාදානයයි කියනු ලැබේ. ඇවැත්නි, උපාදානය කවරේද?” “ඇවැත්නි, උපාදාන සතර දෙනෙකි. කාමූපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතඋපාදානය, අත්තවාදූපාදානය කියායි. ඇවැත්නි, මේ සතර උපාදනයෝයි” “ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.” “ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?” “ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස වේ. ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” “ඇවැත්නි, උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය යහපත්ය. ප්‍රතිපදාව යහපත්ය. ඇවැත්නි, ශාරීපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”
4. 1. 13.
භව සූත්‍රය
328. “ඇවැත්නි, ශාරීපුත්‍රය, භවය භවයයි කියනු ලැබේ. ඇවැත්නි, භවය කවරේද?” “ඇවැත්නි, මේ භව තුනකි. කාම භවය, රූප භවය, අරූප භවය යන තුනයි. ඇවැත්නි, මේ තුන් භවයෝයි.” “ඇවැත්නි, මේ භවයන් පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ භවයන්ගේ පිරිසිඳ දැනගැනීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.” “මේ භවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද,” “මේ භවයන්ගේ පිරිසිඳ දැනීමට සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි. ඇවැත්නි, මේ භවයන් පිරිසිඳ දැනීම පිණිස මේ මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි.” “ඇවැත්නි, මේ භවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස යහපත් මාර්ගයක්ය, හොඳ ප්‍රතිපදාවක්ය. ඇවැත්නි ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”
4. 1. 14.
දුක්ඛ සූත්‍රය
329. “ඇවැත්නි ශාරිපුත්‍රය, දුක දුකයයි කියනු ලැබේ. ඇවැත්නි, දුක කවරේද?” “ඇවැත්නි, දුක්ඛ දුකය, සඩ්ඛාර දුකය, විපරිණාම දුකයයි දුක් ස්වභාවයෝ තුනකි. ඇවැත්නි, මේ දුක් ස්වභාවයෝ තුන වෙති.” “ඇවැත්නි මේ දුක් ස්වභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?” “මේ දුක් පිරිසිඳ දැනගැනීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.” “ඇවැත්නි, මේ දුක් පිරිසිඳ දැනීම පිණිස මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?” “ඇවැත්නි, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ දුක් ස්වභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස වේ.” “ඇවැත්නි, මේ දුක් ස්වභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”
4. 1. 15.
සක්කාය සූත්‍රය
330. “ඇවැත්නි, ශාරිපුත්‍රය, සක්කාය සක්කාය යයි කියනු ලැබේ. ඇවැත්නි, සක්කාය කවරේද?” “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් රූපඋපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය යන මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ සක්කායයයි වදාරණ ලදී. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදාන ස්කන්ධයෝ පස්දෙන සක්කායයයි වදාරණ ලදී.” “ඇවැත්නි, මේ සක්කායයන් පිරිසිඳ දැනගැනීමට මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”