4. 1. 1.
නිබ්බාන සූත්‍රය
316. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කෙරෙති. එකල්හි ජම්බුඛාදක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ජම්බුඛාදක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළකෙළේය: “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, නිර්වාණය නිර්වාණයයි කියනු ලැබේ. ඇවැත්නි, කුමක් නිර්වාණය වේද” යනුයි.
“ඇවැත්නි, රාගය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, ද්වේෂය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, මෝහය ක්ෂය කිරීමට හේතුවූ යමක් වේද, මේ නිර්වාණයයි කියනු ලැබේ. “ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.” “ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නාවූ මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?” “ඇවැත්නි, මේ අංග අටකින් යුත් ආර්යමාර්ගයම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වන්නේය. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුය, ඇවැත්නි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නේය. “ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රය අප්‍රමාදයට සුදුසුය.”
4. 1. 2.
අරහත්ත සූත්‍රය
317. “ඇවැත් ශාරිපුත්‍රය, රහත් බව රහත් බවයයි කියනු ලැබේ ඇවැත්නි, රහත් බව නම් කවරේද?” “ඇවැත්නි, යම් රාගය ක්ෂය කිරීමක් වේද, ද්වේෂය ක්ෂය කිරීමක් වේද, මෝහය ක්ෂය කිරීමක් වේද, මේ රහත් බවයයි කියනු ලැබේ.” “ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?” “ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.” “ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට ඇති මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?” “ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුයි. ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” “ඇවැත්නි, රහත් බව ප්‍රත්‍යක්ෂකිරීම පිණිස මෙය යහපත් මාර්ගයයි. යහපත් ප්‍රතිපදාවකි. “ඇවැත් ශාරිපුත්‍රය, මෙය අප්‍රමාදය පිණිස සුදුසු ද වේ.”
4. 1. 3.
ධම්මවාදී සූත්‍රය
318. “ඇවැත් ශාරිපුත්‍රය, ලෝකයෙහි ධර්මවාදීහු කවරහුද? ලෝකයෙහි මනාකොට පිළිපදින්නෝ කවරහුද? ලෝකයෙහි කවරෙක් යහපත් මාර්ගයෙහි ගියාහුද?” “ඇවැත්නි, යම්කිසි කෙනෙක් රාගය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දේශනා කරත්ද, ද්වේෂය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දේශනා කරත්ද, මෝහය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දේශනා කරත්ද, ඔව්හු ලෝකයෙහි ධර්මවාදීහුය. ඇවැත්නි, යම්කිසි කෙනෙක් රාගය ප්‍රහීණ කිරීම පිණිස පිළිපදින්නාහුද ද්වේෂය ප්‍රහීණ කිරීම පිණිස පිළිපදින්නාහුද, මෝහය ප්‍රහීණ කිරීම පිණිස පිළිපදින්නාහුද, ඔව්හු ලෝකයෙහි මනාකොට පිළිපදින්නෝය. ඇවැත්නි, යම්කිසි කෙනෙකුන් විසින් රාගය ප්‍රහීණ කරන ලද ද, සිඳින ලද මුල් ඇත්තේ වේද, කරටිය සිඳින ලද තල්ගසක් මෙන් කරන ලද්දේද, අභාවයට යවන ලද්දේද, මතු නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේද, ද්වේෂය ප්‍රහීණ කරන ලද්දේද, සිඳිනලද මුල් ඇත්තේද? මුදුන සිදින ලද තල්ගසක් මෙන් කරන ලද්දේද, අභාවයට යවන ලද්දේද, මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දේද, මෝහය ප්‍රහීණ කරන ලද්දේද සිඳිනලද මුල් ඇත්තේ වේද? කරටිය සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේද, අභාවයට යවන ලද්දේද, මතු නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේද, ඔව්හු ලෝකයෙහි යහපත් මාර්ගයේ ගමන් කළෝ වෙත්.
“ඇවැත්නි, මේ රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණයට මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද? “ඇවැත්නි, මේ රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණයට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය. “ඇවැත්නි, රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණයට මාර්ගය කවරේද? ප්‍රතිපදාව කවරේද? “ඇවැත්නි, මේ රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුය. ඇවැත්නි, මේ රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි. “ඇවැත්නි, රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ ප්‍රහාණයට මේ යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වේ.”
4. 1. 4.
කිමත්ථිය සූත්‍රය
319. “ඇවැත් ශාරිපුත්‍රය, කුමක් පිණිස ශ්‍රමණ භවත් ගෞතමයන් සමීපයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේද?” “ඇවැත්නි, දුක පිරිසිඳ දැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමි.” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇද්ද? ප්‍රතිපදාවක් ඇද්ද?” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස කවර ප්‍රතිපදාවක්, කවර මාර්ගයක් ඇත්තේද?” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිස මේ අංග අටකින් යුත් ආර්ය මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය. ඇවැත්නි, මේ මාර්ගය, මේ ප්‍රතිපදාව මේ දුක පිරිසිඳ දැනීම පිණිස වේ.” “ඇවැත්නි, මේ දුක පිරිසිඳ දැනීම පිණිසවූ මාර්ගය යහපත්ය. ප්‍රතිපදාවද යහපත්ය. ඇවැත් ශාරිපුත්‍රය, අප්‍රමාදයට සුදුසුද වෙයි.”