1. 6. 10.
දුතිය සබ්බූපාදාන පරියාදාන සූත්‍රය
62. සැවැත්නුවරදී–
“මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියලු උපාදානයන් දුරුකිරීම පිණිස පවත්නාවූ ධර්‍මය කවරේද යත්?
“මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.” “චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” -පෙ- චක්ඛු සම්ඵස්සය -පෙ- චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” -පෙ- “මහණෙනි, කන -පෙ- ශබ්දයෝ -පෙ- සෝත විඤ්ඤාණය -පෙ- සෝත සම්ඵස්සය -පෙ- යම් මේ වේදනාවකුත් උපදීද? එයද -පෙ- මහණෙනි, නාසය -පෙ- ගන්‍ධයෝ -පෙ- ඝාණ විඤ්ඤාණය -පෙ- ඝාණ සම්ඵස්සය -පෙ- යම් මේ වේදනාවකුත් උපදීද? එයද -පෙ- මහණෙනි, කය -පෙ- ස්පර්‍ශය (ඵොට්ඨබ්බය) -පෙ- කාය විඤ්ඤාණය -පෙ- කාය සම්ඵස්සය -පෙ- යම් මේ වේදනාවකුත් උපදීද? එයද -පෙ- මහණෙනි, සිත -පෙ- ධර්‍මයෝ -පෙ- මනෝ විඤ්ඤාණය -පෙ- මනෝ සම්ඵස්සය -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ යම් මේ වේදනාවකුත් උපදීද? එයද නිත්‍ය හෝ අනිත්‍ය වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ, සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.”
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්‍ෂය විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලද්දේය. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ වනාහි සියලු හැඟීම් නැසීමට උපකාරවූ ප්‍රතිපදාවය” යි (වදාළ සේක.)
හයවෙනි අවිජ්ජා වර්ගයයි.
එහි උද්දානය:
අවිජ්ජා, සඤ්ඤොජන සූත්‍ර දෙක ද, ආසව සූත්‍ර දෙක ද, අනුසය සූත්‍ර දෙක ද, පරිඤ්ඤා සූත්‍රය ද, පරියාදින්න සූත්‍ර දෙක ද (යන මේවායින්) දසයෙකි.
7. මිගජාල වර්‍ගය
1. 7. 1.
මිගජාල සූත්‍රය
63. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති ආයුෂ්මත් මිගජාල ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මිගජාල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, ‘එකවිහාරි ඒකවිහාරී’ යයි හෙවත් එකලාව වාසය කරන්නේයයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි එකලාව වාසය කරන්නේ වේද? කොපමණකින් දෙවැන්නෙක් සහිතව වාසය කරන්නේ වේද?” කියායි. “මිගජාලය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. “මිගජාලය, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. “මිගජාලය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. “මිගජාලය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. “මිගජාලය, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ, ඉෂ්ටවූ, කාන්තවූ, මනවඩන්නාවූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙමේ එය පතයිද, ගුණවයයිද, (එහි) ගැලී සිටී ද, එය පතන, ගුණවනන, (එහි) ගැලී සිටින ඔහුට තෘෂ්ණා සතුට උපදී. තෘෂ්ණා සතුට ඇති කල්හි, බලවත් ආශාවෙන් යුක්ත වේ. ඒ බලවත් ආශාව ඇතිකල්හි බැඳීම වේ. මිගජාලය, තෘෂ්ණාවෙන් බැඳුනාවූ මහණතෙම දෙවැන්නෙකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.
“මිගජාලය, මෙසේ වාසය කරන්නාවූද මහණතෙම හුදෙක් වනයෙහි ශබ්ද නැත්තාවූ, ඝෝෂා නැත්තාවූ, වනය ඇසුරුකොට හමන වාතය නැත්තාවූ, මිනිසුන්ගේ රහසිගතවීමට සුදුසුවූ, සැඟවී වාසයට සුදුසුවූ, ඉතා දුරවූ වන සෙනසුන් සේවනය කෙරේද, එතකුදු වුවත් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ. ඊට හේතු කවරේද? ඔහුට තෘෂ්ණාව දෙවැන්න වේ. මොහුගේ ඒ තෘෂ්ණාව ප්‍රහීණ නොවීය. එහෙයින් දෙවැන්නකු සහිතව වාසය කරන්නේයයි කියනු ලැබේ.