1. 19. 5.
දුතිය දාරුක්ඛන්ධොපම සූත්රය.
242. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ කිම්බිලා නම් නුවර ගංගා නම් ගංඉවුරෙහි වැඩ වසන සේක. භාග්යවතුන් වහන්සේ ගංගා නම් ගඟේ දිය පහරින් ගසාගෙන යන්නාවූ මහත්වූ දරකඳක් දුටුසේක. දැක භික්ෂූන්ට ආමන්ත්රණය කළසේක: “මහණෙනි, තෙපි ගංගානම් ගඟේ දියපහරින් ගසාගෙන යන්නාවූ අර මහත්වූ දරකඳ දක්නාහුද? €“එසේය, ස්වාමිනි, “මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නොපැමිණේද, එතෙරට නොපැමිණේද, ගඟ මැද නොගිලෙන්නේද, ගොඩට නොගසන්නේද, මනුෂ්යයන්ගේ ගැනීමක් නොවන්නේද, අමනුෂ්යයන්ගේ ගැනීමක් නොවන්නේද, දිය සුළියකට හසු නොවන්නේද, ඇතුළ කුණුවීමක් නොවන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ දරකඳ මුහුද කරා නැමුනේ වන්නේය. මුහුදට ගසා යන්නේ මුහුද දෙසට බරවූයේ වන්නේය. ඊට හේතු කවරේද, මහණෙනි, ගංගා නදියේ දියපාර මුහුදට නැමීම ඇත්තේය. මුහුදට නැඹුරුවූයේය. මුහුදට බරවූයේය. “මහණෙනි, මෙපරිද්දෙන්ම ඉදින් තෙපිදු මෙතෙරට නොපැමිණෙන්නෙහුද, එතෙරට නොපැමිණෙන්නෙහුද, මැද නොගිලෙන්නහුද, ගොඩට නොනගින්නහුද, මනුෂ්යයන්ගේ ගැනීමක් නොවන්නහුද, අමනුෂ්යයන්ගේ ගැනීමක් නොවන්නහුද, දිය සුළියට හසු නොවන්නහුද, ඇතුළ කුණු නොවන්නහුද, මහණෙනි, එසේ තෙපි නිවනට නැමීම ඇත්තෝ නිවනට නැඹුරුවූවෝ නිවනට බරවූවෝ වන්නාහුය. ඊට හේතු කවරේද, මහණෙනි, සම්යක් දෘෂ්ටිය නිවනට නැමුනාවූ නිවන් කරා ගමන් කරන්නාවූ නිවනට නැඹුරුවූ ධර්මයකැයි, වදාළ සේක.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: ස්වාමිනි, මෙතෙර නම් කුමක්ද එතෙර නම් කුමක්ද, මැද ගිලා බැසීම නම් කුමක්ද, ගොඩට නැගීම නම් කුමක්ද, මිනිසුන්ගේ අල්වා ගැනීම නම් කුමක්ද, අමනුෂ්යයන්ගේ අල්වාගැනීම නම් කුමක්ද, දිය සුළියට අසුවීම නම් කුමක්ද, ඇතුළත කුණුවීම නම් කුමක්ද යනුයි. “කිම්බිලය, මෙතෙර යනු සවැදෑරුම්වූ අධ්යාත්මිකවූ ආයතනයන්ට නමකි. මහණ, එතෙර යනු සවැදෑරුම් බාහිර ආයතනයන්ට නමකි. මහණ, මැද ගිලාබැසීම යනු නන්දිරාගයට නමකි. මහණ, ගොඩට නැගීම යනු අස්මිමානයට නමකි. “කිම්බිලය, මිනිසුන් අල්වා ගැනීම නම් කවරේද, මේ ශාසනයෙහි භික්ෂුතෙම ගිහියන් සමග එකතුවී වාසය කෙරේද, සමග සතුටුවීම් ඇත්තේ, සමග සෝකවීම් ඇත්තේ සුවපත්වූ කල්හි සුවපත්වූයේ දුකට පත්වූ කල්හි දුකට පත්වූයේ උපන්නාවූ වැඩකටයුතු ඇතිකල්හි තෙමේම ඒ කටයුතුවල යෙදීමට පැමිණේද, මහණ, මෙය මිනිසුන් විසින් අල්වා ගැනීමයයි කියනු ලැබේ. “කිම්බිලය, අමනුෂ්යයන්ගේ ගැනීම නම් කවරේද, මහණ, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් එක්තරා දිව්ය නිකායක් ප්රාර්ත්ථනාකොට බ්රහ්මචර්ය්යාව රකීද, මම මේ සීලයෙන් හෝ ව්රතයෙන් හෝ තපසින් හෝ බ්රහ්මචර්ය්යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා අයෙක් හෝ වන්නෙමි කියායි. මහණ, මෙය අමනුෂ්යයන් විසින් අල්වාගැනීම යයි කියනු ලැබේ. “කිම්බිලය, දියසුළියට අසුවීම යනු මේ පඤ්චකාම ගුණයන්ට නමකි. “කිම්බිලය, ඇතුළත කුණුවීම නම් කවරේද, කිම්බිලය, මේ ශාසනයෙහි භික්ෂුතෙම යම්බඳුවූ ඇවතකට පැමිණියේවේද, යම්බඳුවූ ඇවතකින් නැඟී සිටිය යුතුබව පෙනේද, කිම්බිලය, මෙය ඇතුළත කුණුවීමයයි කියනු ලැබේයයි, වදාළහ.
1. 19. 6.
අවස්සුතපරියාය සූත්රය
243. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයන්හි කිඹුල්වත්පුර නිග්රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි කිඹුල්වත්පුර වැසි ශාක්ය රජුන්ගේ අළුත්වූ සන්ථාගාර ශාලාව කරවනලද නොබෝ කල් ඇත්තේ වෙයි. ශ්රමණයකු විසින් හෝ බ්රාහ්මණයකු විසින් හෝ මනුෂ්යවූ කිසිවකු විසිනුත් නොවසන ලද්දේය. ඉක්බිති කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක හුන්නාවූ කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කළාහුය:
“ස්වාමීනි, මෙහි කිඹුල්වත්පුර වැසි ශාක්යයන්ගේ අළුත්වූ සන්ථාගාර ශාලාව කරවනලද නොබෝ කල් ඇත්තේවෙයි. ශ්රමණයකු විසින් හෝ බ්රාහ්මණයකු විසින් හෝ මනුෂ්යවූ කිසිවකු විසිනුත් නොවසන ලද්දේය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ එය පළමුව පරිභෝග කරන සේක්වා. භාග්යවතුන් වහන්සේ විසින් පළමුව පරිභෝග කරනලද කල්හි පසුව කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ පරිභෝග කරන්නාහුය. එය කිඹුල්වත්පුර වැසි ශාක්යයන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වන්නේය, කියායි. භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසූ සේක.
ඉක්බිති කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ ගෞරවකොට අළුත්වූ සන්ථාගාර ශාලාව යම් තැනෙක්හිද එතැනට ගියාහුය. ගොස් සන්ථාගාර ශාලාව සියළු තැන්හි ඇතිරිලි අතුරා අසුන් පනවා දිය සැලක් තබ්බවා තෙල් පහන් දල්වා භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියාහුය. ගොස් භාග්යවතුන් වහන්සේට මෙය සැල කළාහුය: ස්වාමීනි, සන්ථාගාර ශාලාව සියළු තැන ඇතිරිලි අතුරණ ලදී. අසුන් පනවන ලදී. දියසැලියක් තබන ලද්දේය. තෙල් පහන් දල්වන ලදී. භාග්යවතුන් වහන්සේ දැන් වැඩීමට කල් දන්නා සේක, යනුවෙනි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ හැඳ පොරවා පාසිවුරු ගෙන භික්ෂු සංඝයා සමග අළුත්වූ සන්ථාගාර ශාලාව යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. වැඩ පා සෝදා සන්ථාගාර ශාලාවට ඇතුල්ව මැදවූ කණුව ඇසුරුකොට නැගෙනහිරට මුහුණලා වැඩහුන්සේක. භික්ෂු සංඝයා පා සෝදා සන්ථාගාරයට ඇතුල්ව බස්නාහිර බිත්තිය ඇසුරුකොට නැගෙනහිරට මුහුණලා භාග්යවතුන් වහන්සේ පෙරටුකොට වැඩහුන්නේය. කිඹුල්වත්පුර වැසි ශාක්යයෝද පා සෝදා සන්ථාගාරයට ඇතුල්ව නැගෙනහිර බිත්තිය ඇසුරුකොට බස්නාහිරට මුහුණලා භාග්යවතුන් වහන්සේ පෙරටුකොට හුන්නාහුය.
එකල්හි භාග්යවතුන් වහන්සේ කිඹුල්වත්පුර වැසි ශාක්යයන්ට රාත්රී බොහෝ වේලාවක්ම දැහැමිවූ කථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා, 'ගෞතමයෙනි, (ශාක්යයෙනි) රාත්රිය ඉක්ම ගියාය. යම් ගමනක් වේනම් ඊට දැන් කල් දනිව්'යයි, වදාළසේක. 'ස්වාමීනි, එසේය'යි, කියා කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ භාග්යවතුන් වහන්සේට පිළිතුරු දී, හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ ගෞරව කොට ගියාහුය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ කිඹුල්වත්පුර වැසි ශාක්යයන් බැහැරගිය නොබෝ කල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්ට කථාකළසේක. මොග්ගල්ලානයෙනි, භික්ෂුසංඝතෙම පහව ගියාවූ ථීනමිද්ධය (නිදිමත) ඇත්තේය. මොග්ගල්ලානය, භික්ෂූන්ට ධර්ම කථාවක් ප්රකාශ කෙරේවා, මාගේ පිට රුජා කෙරෙයි. එහෙයින් මම දිගහැරෙන්නෙමියි’ වදාළේය. ස්වාමීනි, එසේයයි, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සඟල සිවුර සතරගුණකොට දකුණැලයෙන් දකුණු පයෙහි වම්පය මඳක් ඉක්මවා තබා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව නැගිටිමි යන සංඥාව මෙනෙහිකොට ශ්රේෂ්ඨවූ සයනය කළසේක.