1. 19. 3.
කුම්‌මොපම සූත්‍රය
240. “මහණෙනි, පෙර වූ දෙයක් කියමි. ඉදිබුවෙක් සවස් වේලෙහි ගංඉවුරක් සමීපයෙහි ගොදුරු සොයමින් ඇවිද්දේය. මහණෙනි, සිවලෙක්ද සවස් වේලෙහි ගංඉවුර සමීපයෙහි ගොදුරු සොයා ගියේය. මහණෙනි, ඉදිබුවා ගොදුරු සොයා යන්නාවූ සිවලා දුරදීම දුටුයේය. දැක හිස පස්වෙනි කොට ඇති අවයවයන් ස්වකීය කටුව තුළට ඇතුල්කොට දැඟලීමක් නැතිව නිශ්ශබ්දව සිටියේය. මහණෙනි, සිවලාද ඉදිබුවා දුරදීම දුටුයේය. දැක ඉදිබුවා යම් තැනෙක්හිද එතැනට ගියේය. ගොස් යම් කලෙක මේ ඉදිබුවා හිස පස්වෙනිකොට ඇති අවයවයන්ගෙන් යම් ඒ අවයවයක් හෝ පිටතට නිකුත් කෙරේද, එකල්හි එහිම එය ගෙන කඩා කන්නෙමියි’ ඉදිබුවාට ලංවී සිටියේය. මහණෙනි, යම් කලෙක වනාහි ඉදිබුවා හිස පස්වෙනි කොට ඇති අවයවයන්ගෙන් එක්තරා අවයවයක් හෝ පිටතට නොනික්මවීද, එකල්හි හිවල්තෙම ඉදිබුවා වෙතින් ඉඩක් නොලැබ කලකිරී බැහැර ගියේය.
“මහණෙනි, මෙපරිද්දෙන්ම තොපටද පවිටුවූ මාරතෙම නිරන්තරයෙන් ‘මම මොවුන්ගේ ඇසින් හෝ ඉඩක් ලබනිනේ නම් යෙහෙක. කනෙන් හෝ ඉඩක් ලබනිනේ නම් යෙහෙක. නාසයෙන් හෝ ඉඩක් ලබනිනේ නම් යෙහෙක. දිවෙන් හෝ ඉඩක් ලබනිනේ නම් යෙහෙක. කයින් හෝ ඉඩක් ලබනිනේ නම් යෙහෙක. සිතින් හෝ ඉඩක් ලබනිනේ නම් යෙහෙකැයි’ ළංව සිටින්නේය.
“මහණෙනි, එහෙයින් මෙම ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇතිව වාසය කරව්. ඇසින් රූපයක් දැක නිමිති ගන්නෝ නොවව්. කුඩා සටහන් (අනුව්‍යඤ්ජන) ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ චක්ඛු ඉන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද එය සංවර කිරීම පිණිස පිළිපදිව්. චක්ඛු ඉන්‍ද්‍රියය රකිව්. චක්ඛු ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව්.
“කනෙන් ශබ්දයක් අසා නිමිති ගන්නෝ නොවව්. කුඩා ලකුණු (අනුව්‍යඤ්ජන) ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ සෝත ඉන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද එය සංවර කිරීම පිණිස පිළිපදිව්. සෝත ඉන්‍ද්‍රියය රකිව්. සෝත ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව්. “නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට නිමිති ගන්නෝ නොවව්. කුඩා ලකුණු (අනුව්‍යඤ්ජන) ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ ඝාණ ඉන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද එය සංවර කිරීම පිණිස පිළිපදිව්. ඝාණඉන්‍ද්‍රියය රකිව්. ඝාණඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව්. “දිවෙන් රසයක් විඳ නිමිති ගන්නෝ නොවව්. කුඩා ලකුණු (අනුව්‍යඤ්ජන) ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ ජිව්හා ඉන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද එය සංවර කිරීම පිණිස පිළිපදිව්. ජිව්හා ඉන්‍ද්‍රියය රකිව්. ජිව්හාඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව්. “කයින් ස්පර්‍ශයක් ස්පර්‍ශකොට නිමිති ගන්නෝ නොවව්. කුඩා ලකුණු (අනුව්‍යඤ්ජන) ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ කාය ඉන්‍ද්‍රියයෙහි අසංවරව වාසය කරන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද එය සංවර කිරීම පිණිස පිළිපදිව්. කාය ඉන්‍ද්‍රියය රකිව්. කාය ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව්. “සිතින් ධර්‍මයක් දැන නිමිති ගන්නෝ නොවව්. කුඩා ලකුණු (අනුව්‍යඤ්ජන) ගන්නෝ නොවව්. යමක් හේතුකොටගෙන මේ මනින්‍ද්‍රියයෙහි සංවර රහිතව වාසය කරන්නහුට විෂම ලෝභ දොම්නස් යන ලාමකවූ අකුසල ධර්‍මයෝ නැවත නැවත වැස්සෙන්නාහුද එය සංවර කිරීම පිණිස පිළිපදිව්. මනින්‍ද්‍රියය රකිව්. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව්. මහණෙනි, යම් කලෙක්හි වනාහි තෙපි ඉන්‍ද්‍රියයන්හි රක්නාලද දොරටු ඇතුව වාසය කරන්නහුද, එකල්හි තොපටද පවිටුවූ මාරයා කලකිරී ඉඩක් නොලැබ ඉදිබුවාගෙන් සිවලා මෙන් බැහැර යන්නේය,
“සිය කටුවෙහි අවයවයන් තැන්පත් කරන්නාවූ ඉදිබුවෙකුමෙන් මනෝවිතර්‍කයන් ඇසුරු නොකරන්නාවූ අනුන්ට හිංසා නොකරන්නාවූ මහණතෙම පිරිනිවියාවූ කිසිවෙකුටත් උපවාද නොකරන්නේයයි, (දොස් නොකියන්නේයයි) වදාළේය.
1. 19. 4.
දාරුක්‌ඛන්‌ධොපම සූත්‍රය
241. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ අයොධ්‍යා නම් නුවර ගංගානම් ගංඉවුරෙහි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ගංගානම් නදියෙහි දිය පහරින් ගසාගෙන යන්නාවූ මහත්වූ දර කඳක් දුටුසේක. දැක භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, ගංගානම් ගඟේ දිය පහරින් ගසාගෙන යන්නාවූ අර මහත්වූ දරකඳ තෙපි දක්නහුද? “එසේය, ස්වාමීනි,
“මහණෙනි, ඉදින් දරකඳ මෙතෙරට නොපැමිණේද, එතෙරට නොපැමිණේද, ගඟ මැද නොගිලෙන්නේද, ගොඩට නොගසන්නේද, මනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නේද, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නේද, දිය සුළියකට හසු නොවන්නේද, ඇතුළ කුණුවීමක් නොවන්නේද, මහණෙනි, මෙසේ වනාහි ඒ දරකඳ මුහුද කරා නැමුනේ වන්නේය. මුහුදට ගසා යන්නේ මුහුද දෙසට බරවූයේ වන්නේය. ඊට හේතු කවරේද, මහණෙනි, ගංගා නදියේ දියපාර මුහුදට නැමීම ඇත්තේය. මුහුදට නැඹුරුවූයේය. මුහුදට බරවූයේය.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ඉදින් තෙපිදු මෙතෙරට නොපැමිණෙන්නෙහුද, එතෙරට නොපැමිණෙන්නෙහුද, මැද නොගිලෙන්නහුද, ගොඩට නොනගින්නහුද, මනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නහුද, අමනුෂ්‍යයන්ගේ ගැනීමක් නොවන්නහුද, දිය සුළියට හසු නොවන්නහුද, ඇතුළ කුණු නොවන්නහුද, මහණෙනි, එසේ තෙපි නිවනට නැමීම ඇත්තෝ නිවනට නැඹුරුවූවෝ නිවනට බරවූවෝ වන්නාහුය. ඊට හේතු කවරේද, මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය නිවනට නැමුනාවූ නිවන් කරා ගමන් කරන්නාවූ නිවනට නැඹුරුවූ ධර්‍මයකැයි, වදාළ සේක.