1. 19. 10.
ඡප්පාණක සූත්‍රය
247. “මහණෙනි, පැසවූ වණයක් ඇති පුරුෂයෙක් තෙම. කටු සහිත වනයකට පිවිසෙන්නේය. කුස කටු හෝ ඔහුගේ පාදයන් විදින්නාහුය. සරපත්‍ර නම් කටු හෝ ඔහුගේ අත්පා කපන්නේය. මහණෙනි, ඒ පුරුෂතෙම ඒ හේතුවෙන් බොහෝ සෙයින් දුක් දොම්නස් විඳින්නේය. මහණෙනි, එසේම මෙහි ආරණ්‍යයට ගියාවූ හෝ ගමට ගියාවූ හෝ ඇතැම් මහණෙක් ‘මේ ආයුෂ්මත්තෙම මෙසේ කරන්නෙකි, මෙසේ හැසිරෙන්නෙකි.’ අපිරිසිදුවූ නම් කටුවකැයි කියන්නෙකු ලබන්නේය. ඔහු කටුවකැයි දැන සංවරයද අසංවරයද දතයුතුයි.
“මහණෙනි, කෙසේනම් අසංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රූපයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුද්ධවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගනී.
“කනෙන් ශබ්දයක් අසා ප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ශබ්දයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුද්ධවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගනී. “නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ගන්‍ධයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුද්ධවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගනී. “දිවෙන් රසයක් විඳ ප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ රසයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුද්ධවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගනී. “කයින් ස්පර්‍ශයක් කොට ප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ස්පර්‍ශයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුද්ධවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගනී. “සිතින් ධර්‍මයක් දැන ප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි ඇලේද, අප්‍රිය ස්වභාව ඇත්තාවූ ධර්‍මයෙහි කිපේද, නොඑළඹ සිටි කය පිළිබඳ සිහි ඇත්තේ කාමාවචර සිතිවිලි වලින් යුක්තව වාසය කෙරේද, යම් තැනෙක්හි ඔහුට උපන්නාවූ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ ඉතිරි නැතිව නිරුද්ධවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දැන නොගනී.
“මහණෙනි, පුරුෂයෙක්තෙම නොයෙක් වාසස්ථානය ඇති නොයෙක් ගෝචර ඇති සතුන් සයදෙනෙක් අල්ලාගෙන දැඩි රැහැණකින් බඳින්නේය. සර්‍පයෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. කිඹුලෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. පක්‍ෂියෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. බල්ලෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. හිවලෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. වඳුරෙකු ගෙන දැඩි රැහැණකින් බඳින්නේය. දැඩි රැහැනකින් බැඳ මැද ගැටයක් කොට හරින්නේය. ඉක්බිති මහණෙනි, ඒ නොයෙක් නොයෙක් වාසස්ථාන ඇති නොයෙක් නොයෙක් ගෝචර ඇති සතුන් සයදෙන තමතමන්ගේ වාසස්ථාන (කරා) විශේෂයෙන් අදින්නේය.
සර්‍පයා තුඹසට ප්‍රවිෂ්ට වෙමියි (ඒ අතට) අදින්නේය. කිඹුලා ජලයට ප්‍රවිෂ්ට වෙමියි අදින්නේය. පක්‍ෂියා අහසෙහි පියාසර කරමියි අදින්නේය. බල්ලා ගමට වදින්නෙමියි අදින්නේය. සිවලා සොහොනට යන්නෙමියි අදින්නේය. වඳුරා වනයනට වදින්නෙමියි අදින්නේය. “මහණෙනි, යම් අවස්ථාවක ඒ සදෙනා ක්ලාන්ත වූවාහුද ඉක්බිති ඒ සතුන්ගෙන් යමෙක් බලවත්ද ඔවුහු ඔහුට අනුව යන්නාහුය. වසඟයට යන්නාහුය.
මහණෙනි, එසේම යම්කිසි භික්‍ෂුවක් විසින් කායගතාසතිය නොවඩන ලද්දේද, බහුල වශයෙන් නොකරන ලද්දේද, ඇස මනාප රූපයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප රූපයෝ පිළිකුල් වෙත්. කන මනාප ශබ්දයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ශබ්දයෝ පිළිකුල් වෙත්. නාසය මනාප ගන්‍ධයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ගන්‍ධයෝ පිළිකුල් වෙත්. දිව මනාප රසයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප රසයෝ පිළිකුල් වෙත්. කය මනාප ස්පර්‍ශයන් වෙත ඔහු ගෙනයයි. ඔහුට අමනාප ස්පර්‍ශයෝ පිළිකුල් වෙත්. සිත මනාප ධර්‍මයන් කෙරෙහි අදී. ඔහුට අමනාප ධර්‍මයෝ පිළිකුල් වෙත්.
මහණෙනි, මෙසේ වනාහි අසංවරය වේ. “මහණෙනි, කෙසේ සංවරය වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වරූපවූ රූපයෙහි නොඇලෙයිද, අප්‍රිය ස්වරූපවූ රූපයෙහි නොකිපෙයිද, ලෝකෝත්තර සිත් ඇත්තේ එළඹසිටි කය පිළිබඳ සිහිය ඇතිව වාසය කරයිද, ඔහුට උපන් ලාමක අකුශල ධර්‍මයෝ යම් තැනෙක ඉතිරි නොවී නිරුද්ධවෙත්ද, ඒ අර්හත්ඵල සමාධියද අර්හත්ඵල ප්‍රඥාවද තත්වූ පරිද්දෙන් දනී.