1. 12. 6.
පඤ්‌චසිඛපඤ්‌හ සූත්‍රය
119. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජක්‍ඞකූට පර්‍වතයෙහි වූ විහාරයෙහි වැඩවසන සේක. එකල්හි පඤ්චසිඛ නම් ගාන්‍ධර්‍ව දිව්‍යපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක සිටියාවූ පඤ්චසිඛ නම් ගාන්‍ධර්‍ව දිව්‍යපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: “ස්වාමීනි යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ මේ ආත්මයෙහිම (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) නොපිරිනිවෙත්ද, ස්වාමීනි ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද? යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, යනුයි.
“පඤ්චසිඛය, චක්‍ඛුවිඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම්සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රූප ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. පඤ්චසිඛය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම (කෙලෙස් පරිනිර්‍වාණයෙන්) නොපිරිනිවෙයි. “පඤ්චසිඛය, සෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ශබ්ද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද... පඤ්චසිඛය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම (කෙලෙස් පරිනිර්‍වාණයෙන්) නොපිරිනිවෙයි. “පඤ්චසිඛය, ඝාණ විඤ්ඤාණයෙන් දත යුතු වූ... ගන්‍ධ ඇත්තාහ... “පඤ්චසිඛය, ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු වූ... රස ඇත්තාහ... “පඤ්චසිඛය, කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ... ස්පර්‍ශ ඇත්තාහ... “පඤ්චසිඛය, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නාවූ, ඇලුම් කටයුතු වූ ධර්‍ම ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටීද, එය පතන, එය ප්‍රියයයි කියන, එහි ගැලී සිටින ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු කලේ, එය උපාදාන කොට ඇත්තේ වෙයි. පඤ්චසිඛය උපාදාන සහිතවූ භික්‍ෂුතෙම නොපිරිනිවෙයි. පඤ්චසිඛය මේ ලෝකයෙහි යම් හෙයකින් ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, (එයට) මෙය හේතුවේ. මේ ප්‍රත්‍යය වේ.
“පඤ්චසිඛය, චක්‍ඛු විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ රූප ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. පඤ්චසිඛය උපාදාන රහිතවූ භික්‍ෂුතෙම පිරිනිවෙයි. “පඤ්චසිඛය, සෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ... ශබ්ද ඇත්තාහ... “පඤ්චසිඛය, ඝාණ විඤ්ඤාණයෙන් දත යුතු වූ... ගන්‍ධ ඇත්තාහ... “පඤ්චසිඛය, ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු වූ... රස ඇත්තාහ... “පඤ්චසිඛය, කාය විඤ්ඤාණයෙන් දත යුතු වූ... ස්පර්‍ශ ඇත්තාහ... “පඤ්චසිඛය, මනෝ විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇත්තාවූ, කම් සුව එලවන්නා වූ, ඇලුම් කටයුතු වූ ධර්‍ම ඇත්තාහ. ඉදින් භික්‍ෂු තෙම එය නොපතාද, එය ප්‍රියයයි නොකියාද, එහි ගැලී නොසිටීද, එය නොපතන්නාවූ, එය ප්‍රියයයි නොකියන්නාවූ, එහි ගැලී නොසිටින්නාවූ ඔහුගේ විඤ්ඤාණය එය ඇසුරු නොකලේ, එය උපාදාන කොට නැත්තේ වේ. පඤ්චසිඛය උපාදාන රහිතවූ භික්‍ෂුතෙම පිරිනිවන්පායි. පඤ්චසිඛය මේ ලෝකයෙහි ඇතැම් සත්‍ව කෙනෙක් යම් හෙයකින් මේ ආත්මයෙහිම පිරිනිවන් පාත්ද, එයට මේ හේතුවේ. මේ ප්‍රත්‍යය වේයයි, (වදාළ සේක.)
1. 12. 7.
සාරිපුත්‌තසද්‌ධිවිහාරික සූත්‍රය
120. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා භික්‍ෂුවක් තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හි ද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටු විය යුතුවූ සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත් පසක හුන්නේය. එකත් පසක හුන්නා වූ ඒ භික්‍ෂුතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙය සැළකෙළේය. ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, සඬිවිහාරික වූ ශිෂ්‍ය භික්‍ෂුවක් තෙම ශික්‍ෂාව ප්‍රත්‍යඛ්‍යානය කොට (උපසම්පදා ශීලය ඉවත්කොට) ගිහි බවට පෙරලුනේයයි, යනුයි.
“ඇවැත්නි, ඉන්‍ද්‍රියයන්හි නොරක්නාලද දොරටු ඇති භෝජනයෙහි පමණ නොදන්නා වූ නිදි දුරු කිරීමෙහි නොයෙදුනාවූ මහණ හට එය එසේ වෙයි.
ඇවැතිනි, ඉන්‍ද්‍රියයන්හි නොරක්නාලද දොරටු ඇති භෝජනයෙහි පමණ නොදන්නේ නිදි දුරු කිරීමෙහි නොයෙදුනු ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් දිවිහිමියෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව රකින්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. “ඇවැත්නි, ඉන්‍ද්‍රියයන්හි රකිනලද දොරටු ඇත්තාවූ භෝජනයෙහි පමණ දන්නා වූ නිදි දුරු කිරීමෙහි යෙදුනාවූ ඒ භික්‍ෂු තෙම ඒකාන්තයෙන් දිවිහිමියෙන් සම්පූර්‍ණවූ පිරිසිදුවූ බ්‍රහ්මචර්‍ය්‍යාව රක්නේය යන මේ කරුණ විද්‍යමාන වේ.