1. 1. 10.
10. දුතිය (බාහිරායතන) අනිත්‍ය සූත්‍රය
10. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රූපයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ. “අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ගන්‍ධයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, රසයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ අනිත්‍යයහ. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය.” යි (වදාළ සේක.)
1. 1. 11.
11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්‍රය
11. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ දුකයහ. දැන් පවත්නා රූපයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ දුකයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ දුකයහ. දැන් පවත්නාවූ ගන්‍ධයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, රසයෝ දුකයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ දුකයහ. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ දුක් වෙත්. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” (වදාළ සේක).
1. 1. 12.
12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්‍රය
12. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රූපයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ශබ්දයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, ගන්‍ධයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ගන්‍ධයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්‍ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, රසයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රසයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, ස්පර්‍ශයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ස්පර්‍ශයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්‍ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, ධර්‍මයෝ අනාත්ම වෙත්. දැන් පවත්නාවූ ධර්‍මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්‍මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය”යි (වදාළ සේක).
පළමුවෙනි අනිත්‍ය වර්‍ගය නිමි.
එහි උද්දානය:
අනිත්‍යය, දුක, අනාත්මය ද යන තුන ද අජ්ඣත්ත හා බාහිර ද වෙති. යම් අනිත්‍යයකින් තුනක් කියන ලද්දාහු ද ඒ ඒ අජ්ඣත්ත හා බාහිර වෙති.
2. යමක වර්‍ගය
1. 2. 1.
සම්බෝධ සූත්‍රය
13. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සම්බෝධියෙන් පෙරම සම්‍යක් සම්බුද්‍ධ නොවූ, බෝධිසත්ත්‍වවූම මට මෙබඳු අදහසක් විය. ‘චක්‍ෂුසයාගේ (ඇසෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ (බැහැරවීම) කුමක්ද? ශ්‍රොතයාගේ (කනෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? ඝ්‍රාණයාගේ (නාසයෙහි) ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? දිවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? කයේ ආශ්වාදය කවරේද, ආදීනවය (දෝෂය) කවරේද, නිස්සරණ කවරේද? චිත්තයාගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද කියායි.
“මහණෙනි, ඒ මට මේ අදහස් විය. “ඇස නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ ඇසේ ආශ්වාදය වේ. යම් ඇසක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ ඇසේ ආදීනවය වේ. ඇසෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය ඇසේ නිස්සරණයයි.” “කන නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ කනෙහි ආශ්වාදය වේ. යම් කනක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ කනෙහි ආදීනවය වේ. කනෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය කනෙහි නිස්සරණයයි.” “නාසය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ නාසයේ ආශ්වාදය වේ. යම් නාසයක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ නාසයේ ආදීනවය වේ. නාසයෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය නාසයේ නිස්සරණයයි.” “දිව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ දිව පිළිබඳ ආශ්වාදය වේ. යම් දිවක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ දිව පිළිබඳ ආදීනවයයි. දිව පිළිබඳ යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය දිව පිළිබඳ නිස්සරණයයි.” “කය නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ කයේ ආශ්වාදය වේ. යම් කයක් අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, මේ කයේ ආදීනවය වේ. කයේ යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය කයේ නිස්සරණයයි.” “සිත නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මේ සිත පිළිබඳ ආශ්වාදයයි. යම් සිතක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, මේ සිත පිළිබඳ ආදීනවයයි. සිතෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමක්, ඡන්‍දරාගය පහකිරීමක් වේද, මෙය සිත පිළිබඳ නිස්සරණය වේ.”
“මහණෙනි, මම යම්තාක් මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාව දැන නොගත්තෙම්ද, මහණෙනි, ඒතාක්ම මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්‍ව ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ නොකෙළෙමි.
“මහණෙනි, යම් කලක පටන් මම මේ සවැදෑරුම්වූ, අධ්‍යාත්මිකවූ, ආයතනයන්ගේ මෙසේ ආශ්වාදය ආශ්වාද වශයෙන්ද, ආදීනවය ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණ වශයෙන්ද, තත්වූ පරිද්දෙන් මනාකොට දැන ගත්තෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, ප්‍රජාවෙහි නිරුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ වෙමියි ප්‍රකාශ කෙළෙමි. “මට වනාහි මාගේ අර්හත් ඵල සමාධිය විනාශ නොවන්නීය. මේ අන්තිම ජාතිය වේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය.” යන ඥාන දර්‍ශනය පහළවිය.