8. 1. 4.
දුතිය උපොසථ සූත්‍රය
345. සැවැත්නුවරදී ය.
එකත්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය : “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් ජලාබුජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද කය ඇත්තාහු වෙත්ද, මෙයට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?” ...පෙ...
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් ජලාබුජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද කය ඇත්තෝ වෙත්ද, මේ එයට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
8. 1. 5.
තතිය උපොසථ සූත්‍රය
346. සැවැත්නුවරදී ය.
එකත්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය : “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සංසෙදජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද කය ඇත්තෝ වෙත්ද, මෙයට හේතුව කවරේද? මෙයට ප්‍රත්‍යය කවරේද?” ...පෙ...
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සංසෙදජ නාගයෝ පෙහෙවස් වෙසෙත්ද හරන ලද කය ඇත්තෝ වෙත්ද, මේ එයට හේතුවයි, මේ ප්‍රත්‍යයයි.”
8. 1. 6.
චතුත්ථ උපොසථ සූත්‍රය
347. සැවැත්නුවරදී ය.
එකත්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය : “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඕපපාතික නාගයෝ පෙහෙවස් වෙසෙත්ද, හරන ලද ශරීර ඇත්තෝ වෙත්ද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැම් ඕපපාතික නාගයන්ට මෙබඳු සිතක් වෙයි. ‘අපි වනාහි පෙර කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නෝ වීමු. වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියාකරන්නෝ වීමු. සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නෝ වීමු. ඒ අපි කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නාහු වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නාහු සිතින් දෙපරිද්දකින් ක්‍රියාකරන්නාහු ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික නාගයන්ගේ සහබවට පැමිණියෝ වෙමු. ඉදින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් වචනයෙන් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් සිතින් සුචරිතයෙහි හැසිරෙන්නෙමු නම් මෙසේ අපි ශරීරයාගේ බිඳීමෙන් මරණින් සුගතියයි කියන ලද ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමු. එහෙයින් දැන් අපි කයින් සුචරිතයෙහි හැසිරෙමු. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙමු. සිතින් සුචරිතයෙහි හැසිරෙමු’ යනුයි.
මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් ඕපපාතික නාගයෝ පෙහෙවස් වෙසෙත්ද හරන ලද කය ඇත්තෝ වෙත්ද මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.”
8. 1. 7.
සුත සූත්‍රය
348. සැවැත්නුවරදී ය.
එකත්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය : “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහබවට පැමිණෙයිද, මෙයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, වචනයෙන් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, සිතින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද, ඔහු විසින් ‘අණ්ඩජ නාගයෝ දීර්ඝායුෂ ඇත්තාහ, වර්ණවත්ය, සැප බහුලකොට ඇත්තාහ’යි අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි : ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහබවට පැමිණෙන්නෙම් නම් යහපති’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහබවට පැමිණෙයි.
මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ නාගයන්ගේ සහබවට පැමිණේද, මේ එයට හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
8. 1. 8.
දුතිය සුත සූත්‍රය
349. සැවැත්නුවරදී ය.
එකත්පසක හුන්නාවූ ඒ මහණතෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය : “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ නාගයන්ගේ සහබවට පැමිණේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍යය කවරේද?” “මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දෙපරිද්දකින් ක්‍රියා කරන්නේ වෙයිද ...පෙ...
මහණ, යම් හෙයකින් මේ සස්නෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ නාගයන්ගේ සහබවට පැමිණේද, මේ එයට හේතුවයි මේ එයට ප්‍රත්‍යයයි.”