4. 1. 10.
10. ඛන්ධ සූත්‍රය
311. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූපය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය, සඤ්ඤාව අනිත්‍යය පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය, සංස්කාරයෝ අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණියේද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ මෙසේ ප්‍රඥාව කරණකොට ගෙන ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙත්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක්කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණේද ඒතාක් කළුරිය කිරීමට නුදුසුසු වෙයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියිද, දකියිද හෙතෙමේ අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
චක්ඛු වර්ගය පළමුවැනියි.
එහි උද්දානය:
චක්ඛු සූත්‍රය, රූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය, ඵස්ස සූත්‍රය, වේදනා සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, චෙතනා සූත්‍රය, තණ්හා සූත්‍රය, ධාතු සූත්‍රය සහ ඛන්ධ සූත්‍රය දැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයක් වෙත්.
ඔක්කන්තසංයුත්තං (ඔක්කන්තිකසංයුත්තං (පී. ක.)) සමත්තං.
5. උප්පාද සංයුත්තකය
1. උප්පාද වර්ගය
5. 1. 1.
1. චක්ඛු සූත්‍රය
312. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ඇසේ යම් ඉපදීමක් පැවැත්මක් හට ගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. කණේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීමවෙයි. නාසයේ යම්ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. දිවේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද එය දුඃඛයාගේ ඉපදීම, රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. කයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහළවීම වෙයි. සිතේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහළවීමක් වේද, එය දුඃඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයන්ගේ පහලවීම වෙයි.
“මහණෙනි, ඇසේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කනේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. නාසයේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. දිවේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. කයේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි. සිතේ යම් නිරෝධයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද එය දුක්ඛයාගේ නිරෝධය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයාගේ විනාශයට යාම වෙයි.
5. 1. 2.
2. රූප සූත්‍රය
313. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූපයේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැනීමක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයාගේ පහලවීමවෙයි. ශබ්දයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ගන්ධයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක්වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. රසයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ස්ඵර්ශයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි. ධර්මයන්ගේ යම් ඉපදීමක් පැවැත්මක් හටගැන්මක් පහලවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීම රෝගයන්ගේ පැවැත්ම ජරාමරණයේ පහලවීම වෙයි.
“මහණෙනි, රූපයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.
ශබ්දයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ගන්ධයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. රසයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. ස්පර්ශයේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි. සිතේ යම් විනාශයක් සංසිඳීමක් විනාශයට යාමක් වේද, එය දුක්ඛයාගේ විනාශය රෝගයන්ගේ සංසිඳීම ජරාමරණයේ විනාශයට යාම වෙයි.