3. 2. 25.
සුඛදුක්ඛී අත්තා සූත්‍රය
248. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ සැපද වන දුකද වන (සුඛදුක්ඛී) ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
3. 2. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය
249. සැවැත්නුවරදී:
-පෙ- “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ (අදුක්ඛමසුඛී) ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා, රූපය දැඩිකොට ගෙන මෙසේ දෘෂ්ටි උපදියි: “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි”ති. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණය දැඩිකොට ගෙන මෙසේ දෘෂ්ටි උපදියි: “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි”ති.
මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය, නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද? -පෙ- වෙනස් වෙන ස්වභාවද, ඉදින් ඒ රූපය අල්වා නොගැනීමෙන් “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි. එසේ නොවේය.
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාරා -පෙ- විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද? -පෙ- වෙනස්වන ස්වභාවද ඉදින් ඒ (වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය) අල්වා නොගැනීමෙන් “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
ස්වාමීනි, එසේ නොවේ.
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මෙවැනි දෘෂ්ටි උපදියි: “මරණින් පසු නිරෝගිවූ දුක නුවූ සැපද නුවූ ආත්මය වෙයි”ති. -පෙ-
දෙවෙනි ගමන වර්ගයයි.
එහි සූත්‍ර නාමාවලිය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්ථි දින්න, කරතො, නත්ථි හෙතු සහ මහා දිට්ඨි සූත්‍රයෙන් අටවැනිය වේ.
සස්සත, අසස්සත, අන්තවා, අනන්තවා, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං සහ තථාගත සූත්‍ර හතර ද වේ.
රූපී අත්තා යථා හොති අරූපී ච තථා පරං,
රූපී චාරූපී ච අත්තා නෙව රූපී නාරූපී ච,
ඒකාන්ත සුඛී අත්තා, ඒකාන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා සහ අදුක්ඛමසුඛී අත්තා ද වශයෙන් මේ දෙවෙනි වාරයෙහි සූත්‍ර විසි හයක් දේශනා කරන ලදී.