3. 2. 1.
වාත සූත්‍රය
224. සැවැත්නුවරදී:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පැමිණ මෙසේ දෘෂ්ටි උපදීද: “වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, සඳ හිරු උදා නොවෙත්, නොබසිත්, ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය”ති?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක් නම් මැනවි.
මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි. රූපය ඇති කල්හි මහණෙනි, රූපය නිසා රූපය දැඩිකොට ගෙන මෙසේ දෘෂ්ටි උපදී: “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය”ති. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණය දැඩිකොට ගෙන මෙසේ දෘෂ්ටි උපදී: “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය”ති.
මහණෙනි, කුමක් සිතන්නහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?
ස්වාමීනි, අනිත්‍යය.
යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?
ස්වාමීනි, දුකය.
යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් එය අල්වා නොගැනීමෙන් මෙසේ දෘෂ්ටි උපදීද: “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය”ති?
ස්වාමීනි, එසේ නොවේ.
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මෙසේ දෘෂ්ටි උපදී: “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය”ති. වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?
ස්වාමීනි, අනිත්‍යය. -පෙ-
වෙනස්වන ස්වභාව ඇති එය නිසා මෙසේ දෘෂ්ටි උපදීද: “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය”ති?
ස්වාමීනි, එසේ නොවේ.
මහණෙනි, මෙසේ වනාහි දුක ඇතිකල්හි, දුක නිසා, දුකට පැමිණ මෙවැනි දෘෂ්ටිය උපදින්නේද: “වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, සඳ හිරු උදා නොවෙත්, නොබසිත් ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය”ති? -පෙ-
3. 2. 2.
එතං මම සූත්‍රය
225. සැවැත්නුවරදී:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පැමිණ මෙසේ දෘෂ්ටි උපදීද: “මෙය මගේය, ඒ මම වෙමි, එය මාගේ ආත්මය වේ”යැයි?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- එය මාගේ ආත්මය වේයැයි.
(පළමු වන ගමන සූත්‍රය මෙන් විස්තර කළ යුතුය.)
3. 2. 3.
සො අත්තා සූත්‍රය
226. සැවැත්නුවරදී:
-පෙ- “හේ ආත්මය වෙයි. හේ ලෝකය වෙයි. හේ පරලොව මම වන්නෙමි. හේ නිත්‍යය, ඒකාන්තය, සදාකාලිකය, නොපෙරලෙන ස්වභාව ඇත්තේය”යි? -පෙ-
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- නොපෙරලෙන ස්වභාව ඇත්තේයයි.
3. 2. 4.
නොච මෙ සියා සූත්‍රය
227. සැවැත්නුවරදී:
-පෙ- “මම නොවෙම් නම් මාගේ නොවෙයි. මම නොවන්නෙම් නම් මාගේ නොවන්නේය”යි -පෙ- මාගේ නොවන්නේයයි.
3. 2. 5.
නත්ථි දින්න සූත්‍රය
228. සැවැත්නුවරදී:
-පෙ- “දානයෙහි විපාක නැත. කම්පල අදහා කරන මහා යාගයන්හි විපාක නැත -පෙ- ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්” යන -පෙ-
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- මරණින් මතු නූපදිති.
3. 2. 6.
කරතො සූත්‍රය
229. සැවැත්නුවරදී:
-පෙ- “කරන්නා හටද, කරවන්නාහටද -පෙ- පින් නැත. පුණ්‍යයාගේ පැමිණීමක් නැත”යි. -පෙ- ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- පුණ්‍යයාගේ පැමිණීමක් නැතයි.