3. 1. 11.
අන්තවා සුත්තං
216. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ “ලෝකය අන්තවත්ය (කෙළවරක් ඇත්තේය) යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස කුමක් දැයි, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන සේක් නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි... සංඥාව ඇති කල්හි... සංස්කාරයන් ඇති කල්හි... විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදියි.
“මහණෙනි. ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ඉදින් ‘ලෝකය කෙළවරක් ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද? ... සංඥාව නිත්‍යය හෝ අනිත්‍යය හෝ වෙයිද? ... සංස්කාරයන් නිත්‍යද, අනිත්‍යද? ... විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද? ... ඇසින් දකින ලද, කණින් අසන ලද, නාසය දිව කය යන තුනෙන් දන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, විමසන ලද, යම් මේ දෙයක් වෙයිද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද? ... යමක් වනාහි අනිත්‍යනම් එය දුක හෝ සැප හෝ වෙයිද? ... යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන “ලෝකය කෙළවරක් ඇත්තේය” යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
“මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාගේ මේ කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරු වූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. මහණෙනි. මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝතාපන්නයයිද, සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 12.
අනන්තවා සූත්‍රය
217. සැවැත්නුවරදීය:
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි වනාහි, කුමක් නිසා, කුමකට පැමිණ ලෝකය කෙළවරක් නැත්තේය, යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරණසේක්නම් මැනවි.” “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි. එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා. රුපයට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාරය ඇතිකල්හි, සංස්කාරය නිසා, සංස්කාරයට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි. විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට බැසගෙන ලෝකය කෙළවරක් නැත්තේය යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි. දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද දුකද, වෙනස්වන ස්වභාවද, එය, දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
“වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි. එය නොවන්නේමය.” “සංඥාව නිත්‍ය හෝ අනිත්‍යය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යයද, දුකද, එය වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.” “සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍යය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යයද, එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.” “විඥානය නිත්‍ය හෝ වෙයිද, අනිත්‍ය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.” [5] “දක්නාලද අසනලද නාසය, දිව, කය යන තුනෙන් දැනගන්නාලද සිතින් දන්නාලද, පැමිණෙනලද, සොයන ලද, විමසනලද යම් ඒ දෙයක් වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “එය දැඩිලෙස නොගෙන ‘ලෝකය කෙළවරක් නැත්තේය. යන දෘෂ්ටි උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක්ඛයෙහිද, සැක දුරුවූයේ වෙයි. දුක්ඛ සමුදයෙහිද, සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධයෙහිද, සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයෙහිද සැක දුරුවූයේ වෙයි. “මහණෙනි. මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝතාපන්න යෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද, අර්හත්ඵල පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.
3. 1. 13.
තංජීවං සූත්‍රය
218. සැවැත්නුවරදීය:
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘ජීවයත් එයමය, ශරීරයත් එයමය’ යන දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව් මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි. එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි, රුපය නිසා, රුපයට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි. “වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි. ‘සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට පැමිණ ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි. “සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි. “විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය. යන මේ දෘෂ්ටිය උපදියි.