1. ධ්‍යාන වර්ගය
13. 1. 1.
1. ධ්‍යායී සූත්‍රය
662. සැවැත් නුවරදීය:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ (ඒ භික්ෂූන්ට) මෙය වදාළසේක: මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි. සමාධියට සමවැදීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාපත්තියට සමවැදීමෙහි සමත් වෙයි. ධ්‍යානාංග දැනීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යානාලාභියෙක් තෙමේ ධ්‍යානාංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියට සමවැදීමෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත් වෙයි. සමාධියට සමවැදීමෙහිද සමත්වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියට සමවැදීමෙහිත් සමත්වේද, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද, කිරට වඩා දීද, දීවලට වඩා වෙඬරුද, වෙඬරුවලට වඩා ගිතෙල්ද, ගිතෙල්වලට වඩා ගිතෙල් මණ්ඩයද, එහි යම් සේ උතුම්යයි කියනු ලැබේද, එපරිද්දෙන්ම මහණෙනි, යම් ඒ ධ්‍යානලාභි පුද්ගලයෙක් ධ්‍යානයෙහි ධ්‍යානාංග වෙන්කිරීමෙහිත් සමත් වේද, සමාපත්තියට සමවැදීමෙහිත් සමත්වේද මේ තෙමේ මේ ධ්‍යානලාභී පුද්ගලයන් සතර දෙනාගෙන් අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රමුඛද, උතුම්ද, උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 2.
ඨිති කුසල සූත්‍රය
663. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම ධ්‍යානාංග දැනීමෙහි සමත්වෙයි, සමාධියෙහි පිහිටීමට නොසමත් වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි පිහිටීමට සමත් වෙයි, සමාධියට සමවැදීමෙහි (ධ්‍යානාංග දැනීමෙහි) නොසමත් වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියට සමවැදීමෙහිද නොසමත් වෙයි, සමාධියෙහි පිහිටීමෙහිද නොසමත් වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියට සමවැදීමෙහිද දක්ෂවෙයි, සමාධියෙහි පිහිටීමෙහිද සමර්ථවෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියෙහි පිහිටීමෙහිත් සමත්වේද, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද, කිරට වඩා දීද, දීවලට වඩා වෙඬරුද, වෙඬරුවලට වඩා ගිතෙල්ද, ගිතෙල්වලට වඩා ගිතෙල් මණ්ඩයද, එහි යම් සේ උතුම්යයි කියනු ලැබේද, එපරිද්දෙන්ම මහණෙනි, යම් ඒ ධ්‍යානලාභි පුද්ගලයෙක් ධ්‍යානයෙහි ධ්‍යානාංග වෙන්කිරීමෙහිත් සමත් වේද, සමාධියෙහි පිහිටීමෙහිත් සමත්වේද මේ තෙමේ මේ ධ්‍යානලාභී පුද්ගලයන් සතර දෙනාගෙන් අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රමුඛද, උතුම්ද, උසස්ද වේ.
13. 1. 3.
වුට්ඨාන කුසල සූත්‍රය
664. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, සමාධියෙහි සමවතින් නැඟිසිටීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතින් නැඟී සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියෙහි සමවතින් නැඟීසිටීමෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත්වෙයි, සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිද සමත්වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිද සමත්වේද, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 4.
කල්ලිත කුසල සූත්‍රය
665. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධියෙහි ධ්‍යානාංග දැනීමෙහි සමත් නොවෙයි.