11. 1. 57.
57. වස්ස සූත්‍රය
606. (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක අධික වර්ෂාව ඇතිවේද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, වස්ස වලාහක නම් දේවතාවෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක (මෙබඳු) සිතෙක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ යනුයි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම සමගම මහා වැසි වසියි, යම් හෙයකින් ඇතැම් දිනක මහ වැසි වසියිද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
පළමු වලාහක වර්ගයයි.
සත්තපඤ්ඤාසසුත්තන්තං නිට්ඨිතං. දේසනා සූත්‍රය, සුචරිත සූත්‍රය, දානුපකාර සූත්‍ර පනසය. සීත සූත්‍රය, උණ්හ සූත්‍රය, අබ්භ සූත්‍රය, වාත සූත්‍රය සහ වස්ස සූත්‍රය දැයි මේ වලාහක සංයුත්තයෙහි සූත්‍ර පනස් හතකි.
එහි උද්දානය:
සුද්ධික ද සුචරිත ද දානයෙන් දස පඤ්චකය ද, සීත, උණ්හ, අබ්භ, වාත සහ වස්සවලාහක දැයි (සූත්‍ර වෙයි).
එකොළොස්වෙනි වලාහක සංයුත්තය නිමි.
12. වච්ඡගොත්ත සංයුත්තය
1. වච්ඡගොත්ත වර්ගය
12. 1. 1.
1. අඤ්ඤාණ සූත්‍රය
607. සැවැත් නුවරදී ය:
ඉක්බිති වච්ඡගොත්ත නම් පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එකත් පසෙක උන්නේය. එකත් පසක හුන් ඒ වච්ඡගොත්ත පරිබ්බාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ ලෝකය නිත්‍ය නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි. නොවන්නේද නොවෙයිද’ කියා හෝයි ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය රූපයෙහි නොදැනීම නිසා රූපයන් හට ගැනීමේ හේතුව නොදැනීම නිසා රූප නිරුද්ධවීමෙහි නොදැනීම නිසා රූප නිරුද්ධ වීමේ ප්‍රතිපදාව නොදැනීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්: ‘ලෝකය නිත්‍යය කියා හෝ ලෝකය නිත්‍ය නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ නොවන්නේදවෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය. වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්‍රත්‍යයයි.”
12. 1. 2.
2. වෙදනා අඤ්ඤාණ සූත්‍රය
608. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ ලෝකය නිත්‍ය නොවේය කියා හෝ ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවේයයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ වන්නේද වෙයි. නොවන්නේද වෙයි කියා හෝ මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි. නොවන්නේද නොවෙයිද’ කියා හෝයි ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”