11. 1. 3-12.
3-12. අන්නදායක සීතවලාහක සූත්‍ර දහය
552-561. (මේ සූත්‍රය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, සීත වලාහක කොටසට අයත් දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුල කොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයි. ඕහට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීතවලාහක කොටසට අයිති දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි ... හෙතෙම පානය කළයුතු දේ දෙයි ... හෙතෙම වස්ත්‍ර දෙයි ... හෙතෙම යානාවන් දෙයි ... හෙතෙම මාලාවන් දෙයි ... හෙතෙම සුවඳ දෙයි ... හෙතෙම විලවුන් දෙයි ... හෙතෙම සයනයන් දෙයි ... හෙතෙම ආවාස දෙයි ... හෙතෙම පහන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
11. 1. 13-52.
13-52. උණ්හවලාහක ආදී වූ සූත්‍ර සතලිහ
562-601. (මේ සූත්‍ර ද පෙර සූත්‍ර මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
එකත්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු උණ්හවලාහක දෙවියන්ගේ ... අබ්භවලාහක දෙවියන්ගේ ... වාතවලාහක දෙවියන්ගේ ... වස්සවලාහක දෙවියන්ගේ සහබවට උපදීද, (ඊට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි ... ඔහුට අසන්නට ලැබෙයි: ‘වස්සවලාහක දෙවියෝ දීර්ඝායුෂ්ක ය, වර්ණවත් ය, සුඛබහුල ය’යි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘අහෝ! මම කය බිඳීමෙන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහබවට උපදින්නෙම් නම් මැනවැ’යි. හෙතෙම ආහාර දෙයි ... පාන දෙයි ... වස්ත්‍ර දෙයි ... යානා දෙයි ... මාලා දෙයි ... ගන්ධ දෙයි ... විලවුන් දෙයි ... සයන දෙයි ... ආවාස දෙයි ... පහන් දෙයි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහබවට උපදී.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වස්සවලාහක දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
11. 1. 53.
53. සීත සූත්‍රය
602. (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් සමහර දිනක සීත වේද (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, සීත වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක මෙබඳු සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු කියායි.’ ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම සීතවෙයි. යම් හෙයකින් ඇතැම් කලක සීත වේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
11. 1. 54.
54. උණ්හ සූත්‍රය
603. (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක උණුසුම වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
“මහණ උෂ්ණ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක මෙබඳු සිතෙක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ පැතීම අනුවම උණුසුම් වෙයි. යම් හෙයකින් ඇතැම් කලක උණුසුම් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
11. 1. 55.
55. අබ්භ සූත්‍රය
604. (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල්වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
“මහණ, ‘අබ්භ’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වැසි වලාකුල් වෙයි යනුයි. යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”