11. 1. 1.
1. දේසනා සූත්‍රය
550. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“මහණෙනි, වලාහක කොටසට අයිති දෙවියන් ගැන දේශනා කරන්නෙමි. එය අසවු.
“මහණෙනි, වලාහක කොටසට අයිති දෙවියෝ කවරහුද? මහණෙනි, සීතවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, උණ්හවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, අබ්භවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි වාතවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, වස්සවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, මොවුහු වලාහක කොටසට අයත් දෙවියෝයයි කියනු ලැබේ.”
11. 1. 2.
2. සුචරිත සූත්‍රය
551. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නේද, (එයට) හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, ඔහු විසින් (මෙසේ) අසන ලද්දේ වෙයි. වලාහක කායික දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහ යනුයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණේද, මහණ, (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
11. 1. 3-12.
3-12. අන්නදායක සීතවලාහක සූත්‍ර දහය
552-561. (මේ සූත්‍රය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, සීත වලාහක කොටසට අයත් දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුල කොට ඇත්තාහයි ඔහු විසින් අසනලද්දේ වෙයි. ඕහට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීතවලාහක කොටසට අයිති දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි ... හෙතෙම පානය කළයුතු දේ දෙයි ... හෙතෙම වස්ත්‍ර දෙයි ... හෙතෙම යානාවන් දෙයි ... හෙතෙම මාලාවන් දෙයි ... හෙතෙම සුවඳ දෙයි ... හෙතෙම විලවුන් දෙයි ... හෙතෙම සයනයන් දෙයි ... හෙතෙම ආවාස දෙයි ... හෙතෙම පහන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සීත වලාහක කොටසට අයත් දෙවියන් හා එක්වීමට පැමිණේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
11. 1. 13-52.
13-52. උණ්හවලාහක ආදී වූ සූත්‍ර සතලිහ
562-601. (මේ සූත්‍ර ද පෙර සූත්‍ර මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
එකත්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු උණ්හවලාහක දෙවියන්ගේ ... අබ්භවලාහක දෙවියන්ගේ ... වාතවලාහක දෙවියන්ගේ ... වස්සවලාහක දෙවියන්ගේ සහබවට උපදීද, (ඊට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි ... ඔහුට අසන්නට ලැබෙයි: ‘වස්සවලාහක දෙවියෝ දීර්ඝායුෂ්ක ය, වර්ණවත් ය, සුඛබහුල ය’යි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘අහෝ! මම කය බිඳීමෙන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහබවට උපදින්නෙම් නම් මැනවැ’යි. හෙතෙම ආහාර දෙයි ... පාන දෙයි ... වස්ත්‍ර දෙයි ... යානා දෙයි ... මාලා දෙයි ... ගන්ධ දෙයි ... විලවුන් දෙයි ... සයන දෙයි ... ආවාස දෙයි ... පහන් දෙයි. හෙතෙම කය බිඳීමෙන් මරණින් මතු වස්සවලාහක දෙවියන්ගේ සහබවට උපදී.