10. 1. 1.
1. සුද්ධික සූත්‍රය
438. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම නුඹලාට ගන්ධබ්බකායික දෙවියන් ගැන දේශනා කරන්නෙමි, එය අසවු.
“මහණෙනි, ගන්ධබ්බකායික දෙවියෝ කවරහුද? මහණෙනි, මූලගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. සාර (හරය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ඵෙග්ගු (ඵලය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි. තව (සිවිය) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි පපටිකා (රුක්පොතු) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, පත්‍ර (කොල) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, පුෂ්ප (මල්) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ඵල (ගෙඩි) ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, රස ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි, ගන්ධ ගන්ධයෙහි වාසය කරන දෙවියෝ ඇත්තාහ. මහණෙනි. මොවුහු ගන්ධර්ව කායික දෙවතාවෝයයි කියනු ලැබේ.”
10. 1. 2.
2. සුචරිත සූත්‍රය
439. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්වකෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්ව කායික දෙවියන් හා එක්වීමට පැමිණේද, (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. ගන්ධර්වකායික දෙවතාවෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේවෙයි. ඔහුට මෙබඳු සිතක්වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධබ්බකායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්වකායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධර්වකායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
10. 1. 3.
3. මූලගන්ධ සූත්‍රය
440. (මේ සූත්‍රය මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
එකත්පසෙක හුන් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය: “ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, (එයට) හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද?”
“මහණ, මේ සස්නෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. මූලගන්ධයෙහි වාසය කරන දේවතාවෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම මූලගන්ධයන් දෙන්නේ වෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු මූලගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
10. 1. 4-12.
4-12. සාරගන්ධ සූත්‍රය ආදී වූ සූත්‍ර නවය
441-449. (මේ සූත්‍රයද මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, (එයට) හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. සාරගන්ධයෙහි වාසය කරන දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි: ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් හොඳය’ කියායි. හෙතෙම සාර ගන්ධයන් දෙන්නේ වෙයි ... හෙතෙම ඵෙග්ගු ගන්ධයන් දෙයි ... හෙතෙම තච ගන්ධයන් දෙයි ... හෙතෙම පපටිකා ගන්ධයන් දෙයි ... හෙතෙම පත්ත ගන්ධයන් දෙයි ... හෙතෙම පුෂ්ප ගන්ධයන් දෙයි ... හෙතෙම ඵල ගන්ධයන් දෙයි ... හෙතෙම රස ගන්ධයන් දෙයි ... හෙතෙම ගන්ධ ගන්ධයන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි.
“මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ගන්ධගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”