8. 1. 6.
සාරිපුත්ත සූත්රය
214. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිර තෙම සම්පූර්ණවූ, ගොත නොගසන්නාවූ, නිර්දෝෂවූ, නොගිලිහුණු පද ව්යඤ්ජන ඇත්තාවූ, අර්ත්ථය හැඟවීමෙහි සමර්ත්ථවූ වචන ඇති, දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වයි. පිළිගැන්වීම අවබෝධ කරවයි, තෙදගන්වයි, සතුටු කරවයි. ඒ භික්ෂූහුද අර්ත්ථවත් කොට, මෙනෙහි කොට, එහි ප්රයෝජනය තකා ඒ කරුණු හාත් පසින් සිතට ඇතුළු කොට, කන් යොමු කොට ඒ ධර්මය අසත්.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: “මේ ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිර තෙම, සම්පූර්ණවූ, ගොත නොගසන්නාවූ, නිර්දෝෂවූ, නොගිලිහුණු පද ව්යඤ්ජන ඇත්තාවූ, අර්ත්ථය හැඟවීමට සමර්ත්ථ වචන ඇති, දැහැමි කථායෙන් භික්ෂූන්ට කරුණු දක්වයි. පිළිගැන්වීම අවබෝධ කරවයි, තෙදගන්වයි, සතුටු කරවයි. ඒ භික්ෂූහුද අර්ත්ථවත් කොට, මෙනෙහි කොට සියල්ල සිතට ඇතුළු කොට, කන් යොමු කොට ධර්මය අසති. මම ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිරයන් හමුවෙහි සුදුසු ගාථායෙන් ප්රශංසා කරන්නෙම් නම් මැනවැයි” යි (කියායි.)
ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙම, අසුනෙන් නැගිට සිවුර ඒකාංශකොට සැරියුත් තෙරුන්වෙත ඇඳිලි බැඳ (අත් එකට තබා වැඳ)ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙසේ කීය: “ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිරයෙනි, මට (අදහසක්) වැටහේ.” “ආයුෂ්මත් වඞ්ගීසයෙනි, එහ (තොපට) වැටහේවා.” ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙම, ආයුෂ්මත් සාරිපුත්ර ස්ථවිරයන් හමුවෙහි සුදුසු ගාථායෙන් ප්රසංශා කෙළේය:
“ගැඹුරු ප්රඥා ඇති, නුවණැති, මාර්ගාමාර්ග දැනීමෙහි දක්ෂ, මහා ප්රඥාවත්වූ ශාරීපුත්ර ස්ථවිරතෙම භික්ෂූන්ට ධර්ම දේශනා කරයි.
“(හෙතෙම) සංක්ෂෙපයෙන්ද දේශනා කරයි, විස්තර වශයෙන්ද බණ වදාරයි. මධුරස්වරය සැළලිහිණි හඬ හා සමානය. ප්රතිභාණය නගී.
“(භික්ෂූහු) ඇලුම් කටයුතුවූ, ශ්රවණය කටයුතුවූ, ප්රීති ගෙනදෙන ස්වරයෙන් යුක්තවූ, දහම් දෙසන ඔහුගේ මිහිරි තෙපුල් අසත්. ඔද වැඩි සිත් ඇති, ප්රමුදිත සිත් ඇති, ඒ භික්ෂූහු ඔහුගේ වචනයට කන් යොමු කෙරෙත්.”
8. 1. 7.
පවාරණ සූත්රය
215. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි මිගාරමාතු ප්රාසාදයෙහි සියලුදෙනම රහත්වූ පන්සියයක් පමණ භික්ෂූන්ගෙන් යුත් මහත් භික්ෂු සංඝයා සමග වැඩවසන සේක. එකල භාග්යවතුන් වහන්සේ එදිනට පැමිණි පසළොස්වක් පොහෝ දිනයෙහි වස් පවාරණය පිණිස භික්ෂු සඞ්ඝයා විසින් පිරිවරනලදසේක් එළිමහනෙහි වැඩහුන්සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දවූ සංඝයා බලා භික්ෂූන්ට කථාකළසේක. “මහණෙනි, දැන් ඉතින් තොපගෙන් විචාරමි. මාගේ කායික හෝ වාචසික කිසිවකට තෙපි ගරහව්ද?”
මෙසේ වදාළ කල ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිර තෙම අස්නෙන් නැගිට සිවුර ඒකාංශකොට භාග්යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේ ට මෙසේ කීය: “ස්වාමීනි, අපි භාග්යවතුන් වහන්සේගේ කායිකවූ හෝ වාචසිකවූ හෝ කිසිවක් නොගරහමු. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වනාහි නොයිපදවූ, ඇති මාර්ගය ඉපිදවූසේක. (කලින් නොතිබූ) මාර්ගය ඇතිකළසේක. අන් කෙනෙකු නොදෙසූ මාර්ගය දෙසූසේක. මාර්ගය දත්සේක. මාර්ගය අවබෝධ කළ සේක. මාර්ගයෙහි දක්ෂසේක. ස්වාමීනි, දැන් ශ්රාවකයෝ (ඔබ) දැක්වූ මාර්ගයට අනුව යමින් වෙසෙත්. (ඔවුහු) ඒ මාර්ගය (ඔබට) පසුව ලබාගත්තෝ වෙති. ස්වාමීනි, මමත් භාග්යවතුන් වහන්සේ අතින් විචාරමි. කායිකවූ හෝ වාචසිකවූ හෝ මාගේ කිසිවකට භාග්යවතුන් වහන්සේ ගරහත්ද?”