8. 1. 12.
වංගීස සූත්‍රය
220. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවන ආරාමයෙහි වැඩවසනසේක. එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අළුත රහත් වූයේව, අර්හත්ඵල සමාපත්ති සැපය විඳිනුයේ ඒ වේලෙහි ගාථාවෙන් මෙසේ කීය:
“පෙර ගමින් ගමද, නුවරින් නුවරද, කව් කීමෙන් මත්ව හැසුරුනම්හ. ඉක්බිති සම්බුද්ධයන් වහන්සේ දුටුම්හ. එසඳ අපට ශ්‍රද්ධා තොමෝ උපනි.
“ඒ තථාගතයන් වහන්සේ මට ස්කන්‍ධායතනධාතුන් (ප්‍රකාශ කෙරෙමින්) ධර්‍මය දෙසූසේක. උන්වහන්සේගේ ධර්‍මය අසා අනගාරිකවූ ශාසනයෙහි පැවිදිවූයෙමි.
“යම් කෙනෙක් නියත නිර්‍වාණ මාර්‍ගයට පැමිණියෝද බොහෝවූ භික්‍ෂූන්ටද භික්‍ෂුනීන්ටද අර්ත්‍ථ පිණිස මුනිතුමා සම්බෝධියට පැමිණිසේක.
“බුදුන්ගේ සමීපයට මාගේ පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් ඊමක් වූයේය. මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහුය. සර්‍වඥයන්වහන්සේගේ අනුශාසනය මා විසින් (සම්පූර්‍ණ) කරන ලද්දේය.
“පෙර විසූ ජාති පිළිවෙළ දනිමි. දිවැස විශේෂයෙන් පිරිසිදු කරන ලද්දේය. (මම දිවැස් ලදිමි.) මම ත්‍රිවිද්‍යා ඇත්තෙක්මි. ඎද්ධිවිධ ඥානයට පැමිණියේ වෙමි. සිත පිළිබඳ සියලු දේ දැනුමෙහි දක්‍ෂවෙමි.”
වංගීස වර්ගය පළමුවැනියි.
එහි උද්දානය:
නික්ඛන්ත, අරති, පෙසලා, අතිමඤ්ඤනා, ආනන්ද, සුභාසිත, සාරිපුත්ත, පවාරණා, පරොසහස්ස, කොණ්ඩඤ්ඤ, මොග්ගල්ලාන, ගග්ගරා සහ වඞ්ගීස යයි (සූත්‍ර දොළසකි).
වංගීස සංයුත්තය නිමියේය.
9. වන සංයුත්තය
1. වන වර්ගය
9. 1. 1.
විවේක සූත්‍රය
221. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ඒ භික්‍ෂුව දහවල් විවේකයට ගියේ ලාමකවූ පාප චේතනාවන් සිතයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් වූයේද, ඒ භික්‍ෂුව කෙරෙහි අනුකම්පා ඇත්තේ, ඔහුට වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව උනන්දු කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් (මෙසේ) කීය:
“(ත්‍රිවිධ) විවේකය පතමින් ඔබ මේ වනයට පිවිසියෙහිය. එහෙත් ඔබගේ සිත බාහිරවූ අරමුණු කෙරෙහි හැසිරෙයි. ජනයකුවූ ඔබ (අන්‍ය) ජනයා කෙරෙහි (ඇති) ඡන්‍ද රාගය නසව. ඉන්පසු පහවූ රාග ඇත්තෙක්ව සුවෙන් කල් යවව.
“(කර්‍මස්ථාන භාවනා පිරීමෙහි) නොකැමැත්ත බැහැර කරව. සිහි ඇති වෙව. සිහි ඇතිව විසීම සත්පුරුෂයන්ගේ ධර්‍මයයි. කෙලෙස් ධූවිලි සහිත ආශාව තරණයට දුෂ්කරය. මේ කාමරාගය තා අපායට නොහෙළාවා.
“පස් තැවැරුණු පක්‍ෂියෙක් (පියාපත්) සොලොවමින් ශරීරයෙහි ඇලුනු දූවිලි යම්සේ ඉවත හෙළාද, එසේම කෙලෙසුන් තැවීමේ වීර්‍ය්‍යඇති සිහි ඇති මහණතෙම ඇලුනු (කෙලෙස්) ධූලි ඉවත හෙළයි.”
ඉක්බිති ඒ භික්‍ෂුතෙම ඒ දේවතාවා විසින් උනන්දු භාවයට පමුණුවනු ලදුයේ උනන්දුභාවයට පැමිණියේය
9. 1. 2.
උපට්ඨාන සූත්‍රය
222. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ඒ භික්‍ෂුව දහවල් විවේකයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් වූයේද, හෙතෙම ඒ භික්‍ෂුවට අනුකම්පා සහිතවූයේ, හිත කැමැත්තේ, ඒ භික්‍ෂුව උනන්දු කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.