7. 1. 9.
සුන්දරික සූත්රය.
195. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සුන්දරිකා නදී තෙර වැඩවසනසේක. එකල සුන්දරිකභාරවාජ බමුණුතෙම සුන්දරිකා නදී තෙර ගිනි දෙවියා පුදයි. ගිනි දෙවියා පිදීම සේවනයකරයි. ඉක්බිති සුන්දරිකභාරවාජ බමුණුතෙම ගිනි පුදා ගිනි පිදීමෙහි හැසිර හුනස්නෙන් නැගිට ‘කවරෙක් මේ ගිනි පුදා ඉතිරි කිරිබත වළඳන්නට සුදුසු වන්නේදැ’ යි හාත්පස සිව්දිග පිළිවෙළින් බැලීය. සුන්දරිකභාරවාජ බමුණුතෙම හිස සිට පොරොවාගෙන එක්තරා රුකක් මුල හුන් භාග්යවතුන් වහන්සේ දිටීය. දැක, වම් අතින් ගිනි පුදා ඉතිරි කිරිබත ගෙන දකුණතින් කෙණඩිය ගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සුන්දරිකභාරවාජ බමුණාගේ පා ශබ්දයෙන් හිස විවෘතකළසේක.
ඉක්බිති සුන්දරික බමුණුතෙම ‘මේ තැනැත්තේ නීචයෙක, එසේම මුඩු හිස ඇත්තෙකැ’ යි එතැනින්ම ((වහාම) ආපසු යනු කැමැත්තේ විය. ඉක්බිති සුන්දරිකභාරවාජ බමුණාට මෙබඳු සිතෙක් විය: ‘මෙලොව මුඩු කළ හිස් ඇති බමුණෝද වෙත්. මම ඔහු වෙත පැමිණ, (ඔහුගේ) ජාතිය විචාරම් නම් මැනව.’ ඉක්බිති සුන්දරිකභාරවාජ බමුණා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, ‘පින්වත් තෙම කිනම් ජාති ඇත්තේදැ’ යි ඇසීය.
[භාග්යවතුන් වහන්සේ:]
“ජාතිය නොවිචාරව, (ශීලාදී ගුණ ඇති) චරණයම විචාරව. ඒකාන්තයෙන් (දරින්) ගිනි හටගනී. නීච කුලයෙහි උපන් පුද්ගල තෙමේද, වීර්ය්යවත් වූයේ, කාරණාකාරණා දන්නේ, ලජ්ජාවෙන් පව් වළක්වා රහත් මුනිවරයෙක් වෙයි.
“යමෙක් පරමාර්ථ සත්යයෙන් දැමුනේද, ඉන්ද්රිය දමනයෙන් යුක්තද, සතරමාර්ග වේදයන්ගේ කෙළ පැමිණියේද, වැස නිමවූ මාර්ග බ්රහ්මචර්ය්යාව ඇත්තේද, එබඳු රහතන් වහන්සේ වෙත පිළියෙළකළ යාග ඇතිව සුදුසු කල පැමිණ යාගය පිළිගත මැනවයි ආරාධනා කළ යුතුයි. හෙතෙම දීමට සුදුස්සා කෙරෙහි යාග කෙරේ.”
[බ්රාහ්මණ තෙම:]
යම් හෙයකින් එබඳු ගුණ ඇති, වේද කෙළවරට පැමිණි තථාගතයකු මම දකිම්ද, එහෙයින් මා විසින් මේ යාගය ඒකාන්තයෙන් යහපත්ව කරන ලද්දේ වෙයි. යහපත්සේ හෝම කරන ලදද වෙයි. නුඹ වහන්සේ වැන්නවුන් නොදක්නා හෙයින්ම අන්ය අඥාන ජනතෙම යාගයෙන් ඉතිරි කොටස අනුභව කරයි.”
“පින්වත් ගෞතමයන් වහන්සේ (මේ) වළඳාවා’. පින්වත් තෙම (නියම) බමුණෙක.”
[භාග්යවතුන් වහන්සේ:]
“බමුණ, ගාථා කියා ලත් කිරිබත ම විසින් නොවැළඳිය යුතුයි. මේ ගාථා කියා ලද දෙය වැළඳීම අර්ථ ධර්මයන් දන්නාවුන්ගේ සිරිතක් නොවේ. තථාගතයෝ ගාථා කියා ලත් භෝජනය බැහැර කෙරෙත්. බමුණ, ධර්මය ඇති කල්හි මේ ආර්ය්යයන්ගේ පැවැත්මයි.
“සියලු ගුණයෙන් යුතු, මහර්ෂීවූ, ක්ෂයකළ සියලු කෙලෙස් ඇති, සන්සුන් සියලු පසුතැවීම් ඇති, රහතන් වෙත ගොස්, මෙයින් අන්යවූ ආහාරයෙන්ද පානයෙන්ද උපස්ථානකරව. ඒ ආර්ය්ය සමූහයා පින් කැමැත්තෝහට පින් කෙතක් වේ.”
[බ්රාහ්මණ තෙම:]
“එසේනම් පින්වත් ගෞතමයන් වහන්ස, කාහට මේ යාගයෙන් ඉතිරි කොටස දෙම්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“බ්රාහ්මණය, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්රමණ බ්රාහ්මණයින් සහිත, දෙව් මිනිසුන් සහිත, ප්රජා සංඛ්යාත ලෝකයෙහි යමකු මේ යාගයෙන් ඉතිරි කොටස වැළඳුයේ, මනාව දිරීමට යන්නේද, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්රාවකයෙකු හෝ හැර එබඳු වූවකු නොදකිමි. ඒ නිසා බමුණ, එය තණ නැති බිමක හෝ දමව, ප්රාණීන් නැති දියක හෝ පාකොට හරුව”