7. 1. 7.
සුද්ධික සූත්රය
193. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති සුද්ධිකභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටු විය යුතු කථා සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් සුද්ධිකභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ ගාථාවක් කීය:
“ලොව කිසි බමුණෙක් සිල්වත් වේද, තපස්කර්ම කරන්නේද (එපමණින්) පිරිසිදු නොවේ. ඒ තෙම විද්යාවෙන් හා චරණයන්ගෙන් යුක්තවූයේම පිරිසිදු වේ. මෙයින් අන්යවූ සත්ත්වයා පිරිසිදු නොවේ.
[භාග්යවතුන් වහන්සේ:]
“බොහෝ ප්රලාප කියන්නේ, ඇතුළත කෙලෙස් කසලින් කිලිටිවූයේ, කිලිටි කායකර්මාදිය ඇත්තේ, කුහකවූයේ ජාතියෙන් පමණක් බමුණෙක් නොවේ.
“පටන්ගත් වීර්ය්ය ඇති, නිවන් පිණඍ මෙහෙයූ ඍිත් ඇති, නිරන්තර දැඩි වීර්ය්ය ඇති, ක්ෂත්රියයාද, බ්රාහ්මණයාද, වෛශ්යයාද, ශුද්රයාද, සැඩොලාද, කසල ශෝධකයාද නිවනට පැමිණේ. බමුණ මෙසේ දනුව.”
මෙසේ කීකල සුද්ධිනභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්රකාශ කරන ලද්දේය.” ඒ මම භාභ්යවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි.” භාරවාජගොත්රික බමුණුතෙම භාග්යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් සුද්ධිකභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ වෙසෙන්නේ, නොබෝ කලෙකින්ම, යම් අර්ථයක් පිණිස කුලපුත්රයෝ සසුනෙහි පැවිදිවෙත්ද, ඒ බඹසර කෙළවර (වූ නිවන) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට, එයට පැමිණ විසීය. ‘ජාතිය ක්ෂයවූවා, බ්රහමචර්ය්යව වැස නිමවන ලදී. සියලු මාර්ග කෘත්යය කරවනලදී. මේ ආත්මභාවයෙන් අන් ආත්මයක් නැතැ’ යි යටපත්කොට අවබෝධ කෙළේය. ආයුෂ්මත් සුද්ධිකභාරවාජ තෙම රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.
7. 1. 8.
අග්ගික සූත්රය.
194. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසනසේක. එකල අග්ගිකභාරවාජ බමුණා විසින් ‘ගිනි පුදන්නෙමි, ගිනිපූජාව සේවනය කරන්නෙමි’ යි ගිතෙල් කිරිබත් පිළියෙළකරන ලද්දේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩි සේක. රජගහනුවර ගෙපිළිවෙළින් පිඬු සිඟනසේක් අග්ගිකභාරවාජ බමුණාගේ ගෙදොර යම් තැනෙකද එතැනට වැඩිසේක. වැඩ එකත් පසෙක සිටිසේක.
අග්ගිකභාරවාජ බමුණුතෙම පිඬු පිණිස වැඩ සිටි භාග්යවතුන් වහන්සේ දිටීය. දැක භාග්යවතුන් වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය:
“යමෙක් ත්රිවේදයෙන් යුක්තද, ජාතිමත්ද, බොහෝ ග්රන්ථයන් දන්නේවේද, විද්යාවෙන් හා චරණයෙන් යුක්තද, ඒ තෙම මේ කිරිබත් වළඳන්නේය.”
[භාග්යවතුන් වහන්සේ:]
“(යමෙක්) බොහෝවූ ප්රලාප කියන්නේ, ඇතුලත කෙලෙස් කසටින් කිලිටිවූයේ, කිලිටි කාය කර්මාදිය ඇත්තේ, කුහකකමින් යුක්තවූයේ වේද, හෙතෙම ජාතියෙන් පමණක් බමුණු නොවේ.
“යමෙක් පෙර වුසූ උත්පත්ති පිළිවෙළ දනීද, ස්වර්ගය හා අපායත් දකීද, නැවත නැවත ඉපදීමක් නැති රහත්බවට පැමිණියේද, චතුස්සත්යය දැන නිමියේද, (කායාදී) මෞන (සංවර) ගුණයෙන් යුක්තද,
“මේ ත්රිවිද්යාවෙන් ත්රිවිද්යා ඇති බමුණෙක් වේ. විජ්ජාචරණසම්පන්න ඒ තෙම මේ කිරිබත වළඳන්නේය.”
[බ්රාහ්මණ තෙම:]
“පින්වත් ගෞතමයන් වහන්ස, වළඳන්න. ඔබ වනාහි බ්රාහ්මණයෙකි.”
[භාග්යවතුන් වහන්සේ:]
“බමුණ, ‘මම මේ ගාථා කියා ලැබූ කිරිබත නොවළඳන්නෙමි. ආජීවශුද්ධිය දන්නවුන්ගේ එසේ වැළඳීම සිරිතෙක් නොවේ. බුදුවරයෝ ගාථා කියා ලද දෙය බැහැර කෙරෙත්. බමුණ, ධර්මය ඇති කල්හි මේ ආර්ය්යයන්ගේ පැවැත්මයි.
“සියලු ගුණයෙන් යුතු, මහර්ෂීවූ, ක්ෂයකළ ආශ්රවඇති, සන්සුන් සියලු පසුතැවීම් ඇත්තකු, අන්යවූ ආහාරයෙන්ද, පානයෙන්ද උපස්ථානකරව. උන්වහන්සේ පින් කැමැත්තාහට පින් කෙතක් වේ.”
මෙසේ කී කල අග්ගිභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්රකාශ කරන ලද්දේය. ඒ මම භාභ්යවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි.” අග්ගි භාරවාජගොත්රික බමුණුතෙම භාග්යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේව වෙසෙන්නේ, නොබෝ කලෙකින්ම, යම් අර්ථයක් පිණිස කුලපුත්රයෝ සසුනෙහි පැවිදිවෙත්ද, ඒ බඹසර කෙළවර (වූ නිවන) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට, එයට පැමිණ විසීය. ‘ජාතිය ක්ෂයවූවා, බ්රහමචර්ය්යව වැස නිමවන ලදී. සියලු මාර්ග කෘත්යය කරනලදී. මේ ආත්මභාවයෙන් අන් ආත්මයෙක් නැත’ යි යහපත්කොට අවබෝධ කෙළේය. ආයුෂ්මත් අග්ගිකභාරවාජ තෙම රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.
7. 1. 9.
සුන්දරික සූත්රය.
195. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සුන්දරිකා නදී තෙර වැඩවසනසේක. එකල සුන්දරිකභාරවාජ බමුණුතෙම සුන්දරිකා නදී තෙර ගිනි දෙවියා පුදයි. ගිනි දෙවියා පිදීම සේවනයකරයි. ඉක්බිති සුන්දරිකභාරවාජ බමුණුතෙම ගිනි පුදා ගිනි පිදීමෙහි හැසිර හුනස්නෙන් නැගිට ‘කවරෙක් මේ ගිනි පුදා ඉතිරි කිරිබත වළඳන්නට සුදුසු වන්නේදැ’ යි හාත්පස සිව්දිග පිළිවෙළින් බැලීය. සුන්දරිකභාරවාජ බමුණුතෙම හිස සිට පොරොවාගෙන එක්තරා රුකක් මුල හුන් භාග්යවතුන් වහන්සේ දිටීය. දැක, වම් අතින් ගිනි පුදා ඉතිරි කිරිබත ගෙන දකුණතින් කෙණඩිය ගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය.