7. 1. 5.
අහිංසක සූත්රය
191. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති අහිංසකභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථා නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් අහිංසකභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස මම අහිංසක නම්. පින්වත් ගෞතමයන් වහන්ස මම අහිංසක නම්.”
[භාග්යවතුන් වහන්සේ:]
“(ස්වකීය) නාමය යම්සේද එසේම වන්නෙහි නම් තොප අහිංසකම වෙහි. යමෙක් කයින්ද, බසින්ද, සිතින්ද, හිංසා නොකෙරේද, යාමක් අන්යයකුත් නොවෙහෙසාද, හෙතෙම ඒකාන්තයෙන් අහිංසකයෙක්වේ.”
මෙසේ කීකල අහිංසකභාරවාජ තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි.” යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්රකාශ කරන ලද්දේය. දැනගත්තේය. ඒ මම ධර්මයද, සංඝයාද සහිත භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි. අහිංසකභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය, උපසම්පදාවද ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් අහිංසකභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්ථයක් සඳහා කුලපුත්රයෝ ගිහිගෙන් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලකින්ම ඒ නිරුත්තරවූ බ්රහ්මචර්ය්යයාව කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේම විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. නැවත නැවත ඉපදීම ක්ෂයවිය, බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලදී. කළයුතු දේ කරනලදී. මෙයින් අනික් ආත්මයක් නැතැ’ යි (හෙතෙම) මනාව දත්තේය. ආයුෂ්මත අහිංසකභාරවාජ භික්ෂුවද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.
7. 1. 6.
ජටා සූත්රය
192. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති ජටාභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටු විය යුතු කථා සිහිකටයුතු කථා නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ජටාභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේට ගාථාවක් කීය:
“ඇතුලතද අවුල් වෙයි. පිටතද අවුල් වෙයි. (සත්ත්වයා) අවුලෙන් වෙළන ලදී. ලෞතමයන් වහන්ස, එහෙයින් මේ කාරණය ඔබගෙන් විචාරමි. කවරෙක් මේ අවුල ලිහන්නේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“උත්පත්තියෙන් ඥානවන්තවූ, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තාවූ, (කටයුතු පිළියෙල කරන) නුවණ ඇතිවූ, (යම්) භික්ෂුවක් ශීලයෙහි පිහිටා සමාධියද, (විදර්ශනා) ප්රඥාවද වඩන්නේ වේද,හෙතෙම මේ අවුල ලිහන්නේය.
“යමෙකුන් විසින් රාගයද, ද්වේෂයද, අවිද්යාවද දුරු කරන ලද්දාහුද, ආශ්රවයන් නැතිනළ ඒ රහත්හු වෙත්. ඔවුන් විසින් (තණ්හා) අවුල ලිහන ලද්දේය.
“යම් තැනෙක නාමයද, රූපයද, කාම භවයද, රූප භවය හා අරූප භවයද සම්පූර්ණයෙන් අතුරුදහන් වේද, එහි මේ (තණ්හා) අවුල සිඳෙයි.”
මෙසේ කීකල ජටාභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්රකාශ කරන ලද්දේය.” මේ මම භාභ්යවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සංඝයාද සමග පිහිටකොට යමි. භවත් ගෞතමයන් වෙතින් පැවිද්ද ලබන්නෙම් නම්, උපසම්පදාවද ලබන්නෙම් නම් යෙහෙක.” (යි කීය) ජටාභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය, උපසම්පදාවද ලැබීය. උපසම්පන්නවී නොබෝ කල් ඇති ආයුෂ්මත් ජටාභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්ථයක් සඳහා කුලපුත්රයෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලකින්ම ඒ නිරුත්තරවූ බ්රහ්මචර්ය්යයාව කෙළවරවූ නිවන මේ ආත්මයෙහි තමා විශේෂ ඥානයෙන් අවබෝධ කොට, එයට පැමිණ විසීය. ‘ජාතිය ක්ෂය වූය, බඹසර වැස නිමවන ලදී. මාර්ග කෘත්යය කරනලදී. මෙයින් අන් ආත්මයක් නැතැ’ යි හෙතෙම නිසැකව දත්තේය. ආයුෂ්මත් භාරවාජගෝත්රික ජටා බමුණුතෙම රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.
7. 1. 7.
සුද්ධික සූත්රය
193. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
ඉක්බිති සුද්ධිකභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටු විය යුතු කථා සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් සුද්ධිකභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහිදී මේ ගාථාවක් කීය:
“ලොව කිසි බමුණෙක් සිල්වත් වේද, තපස්කර්ම කරන්නේද (එපමණින්) පිරිසිදු නොවේ. ඒ තෙම විද්යාවෙන් හා චරණයන්ගෙන් යුක්තවූයේම පිරිසිදු වේ. මෙයින් අන්යවූ සත්ත්වයා පිරිසිදු නොවේ.
[භාග්යවතුන් වහන්සේ:]
“බොහෝ ප්රලාප කියන්නේ, ඇතුළත කෙලෙස් කසලින් කිලිටිවූයේ, කිලිටි කායකර්මාදිය ඇත්තේ, කුහකවූයේ ජාතියෙන් පමණක් බමුණෙක් නොවේ.
“පටන්ගත් වීර්ය්ය ඇති, නිවන් පිණඍ මෙහෙයූ ඍිත් ඇති, නිරන්තර දැඩි වීර්ය්ය ඇති, ක්ෂත්රියයාද, බ්රාහ්මණයාද, වෛශ්යයාද, ශුද්රයාද, සැඩොලාද, කසල ශෝධකයාද නිවනට පැමිණේ. බමුණ මෙසේ දනුව.”
මෙසේ කීකල සුද්ධිනභාරවාජ බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීය. “පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්ගය කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්රකාශ කරන ලද්දේය.” ඒ මම භාභ්යවත් ගෞතමයන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි.” භාරවාජගොත්රික බමුණුතෙම භාග්යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් සුද්ධිකභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්ය්ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ වෙසෙන්නේ, නොබෝ කලෙකින්ම, යම් අර්ථයක් පිණිස කුලපුත්රයෝ සසුනෙහි පැවිදිවෙත්ද, ඒ බඹසර කෙළවර (වූ නිවන) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට, එයට පැමිණ විසීය. ‘ජාතිය ක්ෂයවූවා, බ්රහමචර්ය්යව වැස නිමවන ලදී. සියලු මාර්ග කෘත්යය කරවනලදී. මේ ආත්මභාවයෙන් අන් ආත්මයක් නැතැ’ යි යටපත්කොට අවබෝධ කෙළේය. ආයුෂ්මත් සුද්ධිකභාරවාජ තෙම රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.
7. 1. 8.
අග්ගික සූත්රය.
194. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසනසේක. එකල අග්ගිකභාරවාජ බමුණා විසින් ‘ගිනි පුදන්නෙමි, ගිනිපූජාව සේවනය කරන්නෙමි’ යි ගිතෙල් කිරිබත් පිළියෙළකරන ලද්දේය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්ර සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස වැඩි සේක. රජගහනුවර ගෙපිළිවෙළින් පිඬු සිඟනසේක් අග්ගිකභාරවාජ බමුණාගේ ගෙදොර යම් තැනෙකද එතැනට වැඩිසේක. වැඩ එකත් පසෙක සිටිසේක.