5. 1. 6.
6. චාලා සූත්‍රය
167. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි චාලා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, පිඬු පිණිස සැවැත්නුවරට පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා වැඩ දන වළඳා පෙරළා ආ තැනැත්තී දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල හුන්නාය.
එකල්හි පාපීවූ මාරයා, චාලා මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, චාලා මෙහෙණියට මෙසේ කීය:
“මෙහෙණියනි, ඔබ කුමකට නම් කැමති නොවෙහිදැ?” යි ඇසීය.
[චාලා මෙහෙණිය:]
“ඇවත, මම් වනාහි උත්පත්තියට කැමති නොවෙමි.”
(එවිට මාරයා මෙසේ කීය:)
“උත්පත්තිය කැමති නොවන්නේ ඇයිද? උපන් තැනැත්තේ කම්සුව විඳී. මෙහෙණියනි, උත්පත්තිය කැමති නොවේවා, කවරෙක් නම් ඔබට මේ දෘෂ්ඨිය ගැන්වීද?”
(එවිට මෙහෙණී මෙසේ කීවාය:)
“උපන්නහුට මරණය වේ. උපන් තැනැත්තේ බැඳුම්ද, වධද, උවදුරුද යන දුක් ස්පර්‍ශ කෙරෙයි. එබැවින් උත්පත්තිය නොකැමැත්තෙමි.
“බුදුරජාණන් වහන්සේ සියලු දුක් නසනු පිණිස උත්පත්තිය ඉක්මවාලන දහම දෙසූසේක. යො මං සච්චෙ නිවෙසයි (මා සත්‍යයෙහි පිහිටුවූ සේක).
“යම් රූප ලෝකයෙහි උපන් සත්ත්‍වකෙනෙක් ඇද්ද, අරූපලෝකයෙහි සිටිනා යම් සත්ත්‍වකෙනෙක් ඇද්ද, ඒ සියල්ලෝ නිවන නොදන්නාහු නැවත දෙවැනි භවයක ඉපැදීමට එන්නාහ.”
එවිට පාපීවූ මාරයා ‘චාලා මෙහෙණිය මා දන්නීයැ’ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන්විය.
5. 1. 7.
7. උපචාලා සූත්‍රය
168. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි උපචාලා මෙහෙණී පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. එහි පිඬු සිඟා වැඩ පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල උන්නීය.
එවිට පාපීවූ මාරයා, උපචාලා මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, උපචාලා මෙහෙණියට මෙසේ කීය:
“මෙහෙණියනි, ඔබ කොහි උපදිනු කැමැත්තෝද?”
[උපචාලා මෙහෙණිය:]
“ඇවැත්නි, මම් වනාහි කොහේවත් උපදිනු නොකැමැත්තෙමි” යි
(එවිට මාරයා මෙසේ කීය.)
“තව්තිසා දෙව්ලෝ වැසි දෙවියෝද, යාම දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත දෙව්ලෝ වැසි දෙවියෝද, නිර්‍මාණරති දෙව්ලෝ වැසි දෙවියෝද, වශවර්ති දෙව්ලෝ වැසි දෙවියෝද, යන යම් කෙනෙක් ඇද්ද, ඔවුන් කෙරෙහි සිත පිහිටුවන්න. එවිට ඔබ එහි සැප විඳින්නෙහිය. “
(මෙහෙණි මෙසේ පිළිතුරු දුන්නීය.)
“තව්තිසා, යාම, තුසිත, නිර්‍මාණරති, වශවර්ති යන දෙව්ලෝ වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද, ඔහු කාම බැම්මෙන් බැඳුණෝ මරහුගේ වශයට නැවත එන්නාහ.
‘ (කෙළෙස් ගින්නෙන්) මුඑ ලොව ඇවිලගත්තේය, මුඑ ලොව තැවුණේය, සියඑ ලොව දිලිහී ගියේය, සියලු ලොව සැලී ගියේය.
“යම් තැනෙක මාරයාට පිහිටා සිටිය නොහැකිද, නොසැලුණු, කමිපිත නොවූ, පෘථග්ජන නොවූවන් විසින් (ආර්‍ය්‍යයන් විසින්) සෙවුනාලද යම් දහමෙක් ඇද්ද එහි (ඒ නිවනෙහි) මා සිත මුඑමනින් ඇලුණේය. “
එවිට පාපී වූ මාරයා ‘උපචාලා මෙහෙණිය මා දන්නීය’ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන් විය.
5. 1. 8.
8. සිසුපචාලා සූත්‍රය
169. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි සිසුපචාලා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා හැසිර, පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා ගසක් මුල උන්නාය.
එකල පාපී වූ මාරයා සිසුපචාලා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ
“මෙහෙණියනි, ඔබ කවරක්හුගේ දෘෂ්ටියක් කැමැත්තහුදැ” යි කීය.
[සීසූපචාලා මෙහෙණිය:]
“ඇවැත, මම කිසිම පුද්ගලයෙකුගේ දෘෂ්ටියක් කැමති නොවන්නෙමි” යි
(එවිට පාපී මාරයා මෙසේ කීය:)
“ඔබ මෙහෙණියක මෙන් පෙණෙති. ඔබ කවුරු උදෙසා හිස මුඬු කළෝද ? (ඔබ) දෘෂ්ටියක් නොකැමැත්තෙහි, ඉතා මුළාව ගිය සෙයින් කුමට හැසිරෙන්නහුද? “