5. 1. 3.
3. ගෝතමී සූත්‍රය
164. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසනසේක.
එකල්හි කිසාගෝතමී මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්නුවර පිඬු සිඟා හැසිර බතින් පසු පෙරළා අවුත් දවල් විවේකයට අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.
එවිට පාපීවූ මාරයා කිසාගෝතමී මෙහෙණියට බිය, තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සිත එකඟ බවින් (සමාධියෙන්) තොරකරනු කැමැත්තේ. කිසාගෝතමී මෙහෙණිය යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ කිසාගෝතමී මෙහෙණියට ගාථායෙන් (මෙසේ) කීය:
“(තෝ) දරුවා මළ එකියක සෙයින්, අඬන මුහුණ ඇතිව තනිව කුමට ඉන්නෙහිද? වනයට වැද තනිව පුරුෂයෙකුවත් සොයහිද?”
“එකල කිසාගෝතමී මෙහෙණියට මේ සිත්විය. ‘මේ කවරෙක්ද? ගාථා කියන මෙතෙම මිනිසෙක්ද? නොහොත් නොමිනිසෙක්ද?’ ඉක්බිති කිසාගෝතමී මෙහෙණියට, ‘මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැනුම්, ලොම්දැහැගැනුම් උපදවන්නට කැමැතිව, සමාධියෙන් මා තොරකරනු කැමැතිව, ඔහු ගාථා කියාය’ යි අදහස්විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණිය, ‘මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ පෙරළා කීවාය:
“(මම) මළාවූ දරුවකු ඇතිබව ඉක්මවූ තැනැත්තියකිමි. සැමියෝද එයම කෙළවරකොට ඇත්තෝය. ශෝක නොකරමි, නොහඬමි. ඇවැත්නි, තට බියද නොවෙමි,
“හැම දැයෙහි ඇල්ම (මා විසින්) නසනලදී. මොහාන්‍ධකාරය නුවණින් (මා විසින්) බිඳ දමනලදී. මරසෙන් පරදවා ආශ්‍රව නැත්තියක්ව වෙසෙමි.”
එවිට පාපීවූ මාරයා, ‘කිසාගෝතමී මෙහෙණි මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.
5. 1. 4.
4. විජයා සූත්‍රය
165. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි විජයා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙවා පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවර පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා හැසිර, දන් වළඳා පෙරළා අවුත්, දවල් විවේකයට අන්‍ධවනයට පැමිණියාය. අන්‍ධවනයට පැමිණ එක්තරා රුක්මුලෙක දවල් විවේකය පිණිස උන්නාය.
එකල්හි පාපීවූ මාරයා විජයා මෙහෙණියට බිය, තැතිගැනුම්ි ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. විජයා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ විජයා මෙහෙණියට,
“ආර්‍ය්‍යාවෙනි, ඔබ තරුණයහ. මමද නවයොවුන්විය ඇතියෙමි. එන්න, ආර්‍ය්‍යාවෙනි, පසඟතුරුයෙන් (පංචාංගිකතූර්‍ය්‍යයෙන්) අඝිරමණය කරමු” යි ගාථායෙන් කීය.
එවිට විජයා මෙහෙණියට මේ සිත්විය. මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද, නොහොත් නොමිනිසෙක්ද, ඉක්බිති විජයා මෙහෙණියට, පාපීවූ මාරයා මා බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ගන්වනුවට සමාධියෙන් වෙන්කිරීමට කැමැතිව, ගාථා කිය’ යි මේ අදහස විය. ඉක්බිති විජයා මෙහෙණි ‘මේ පාපීවූ මාරයා’ යි දැන, පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ පෙරළා කීවාය:
“සිත අදනා රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය යන යමක් ඇද්ද, තටම ඒවා පවරමි. මාරය, මට ඉන් වැඩෙක් නැත.
“බිඳෙනසුලු, සුණුවිසුණුවනසුලු මේ කුණුකයින් පීඩිතවෙමි, මෙයට පිළිකුල් කෙරෙමි. කම් සැපෙහි ඇල්ම මාවිසින් මුලින් උදුරනලදය.
“රූප ලොවට එළඹී යම් සත්වකෙනෙක් වෙත්ද, අරූප ලොවෙහි සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද, යම් ශාන්කවූ ලෞකික සමාපත්තියෙක් වේද, ඒ සියල්ලෙහි (මුළාබව නමැති) අඳුර මා විසින් නසනලදී.”
එවිට පාපීවූ මාරයා ‘විජයා මෙහෙණි මා දනීයැ’ යි දුක් දොම්නස්ව එහිම අතුරුදන්විය.
5. 1. 5.
5. උප්පලවණ්ණා සූත්‍රය
166. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි උප්පලවණ්ණ මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු පිණිස හැසිර, පසුබත්හි පෙරළා අවුත්, දහවල් ගතකරනු සඳහා අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස දහවල් ගතකරනු පිණිස එක්තරා පිපී ගිය සල් රුක් මුලෙක සිටියාය.
එකල්හි පාපීවූ මාරයා උප්පලවණ්ණ මෙහෙණියට බිය, තැති, ලොමුදැහැගැනුම් උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැතිව, උප්පලවණ්ණ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ උප්පලවණ්ණ මෙහෙණියට,
“මෙහෙණියෙනි, ඔබ අග පටන් සුපිපි රුකක් කරා පැමිණ, ඒ සල් රුක් මුල්හි තනිව සිටිති. ඔබට රූපයෙන් ඔබ වැනි දෙවෙනි මෙහෙණියක් (යෙහෙළියක්) ද නැත. මෙහි පැමිණි අන් මෙහෙණියෝද ඔබ බඳු වන්නාහුය. මෙසේ තනිවූ ඔබ සලෙලුවන්ට බිය නැත්තේද?” යි ගාථායෙන් කීය.
එකල්හි උප්පලවණ්ණ මෙහෙණියට මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද, නොහොත් නොමිනිසෙක්දැ?” යි සිත් විය, ඉක්බිති උප්පලවණ්ණ මෙහෙණියට, මේ අදහස විය. ‘මේ පාපී මාරයාය. මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් උපදවනු කැමැතිව, සමාධියෙන් මා තොරකරනු කැමැත්තෙන් ගාථා කියයි. ඉක්බිති උප්පලවණ්ණ මෙහෙණිය ‘මේ පාපීවූ මරුවාය’ යිම දැන, පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය: