5. 1. 10.
10. වජිරා සූත්‍රය
171. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි වජිරා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරු ගෙන, සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්හි පිඬු සිඟා ඇවිද, පසුබත් කාලයෙහි පෙරළා අවුත්, දහවල් ගතකරන පිණිස අන්‍ධවනය යම් තැනෙකද එතැනට පැමිණියාය. අන්‍ධවනයට බැස එක්තරා ගසක් මුල දහවල් ගතකරන පිණිස උන්නීය.
එකල්හි පාපීවූ මාරයා වජිරා මෙහෙණියට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම් ඇතිකරනු කැමැත්තේ සමාධියෙන් තොරකරනු කැමැතිව, වජිරා මෙහෙණිය යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ වජිරා මෙහෙණියගෙන් ගාථායෙන් මෙසේ ඇසීය.
‘මේ සත්ත්‍වයා කවුරුන් විසින් මවන ලද්දක්ද? මැවු තැනැත්තා කොහිද? සත්ත්‍වයා කොහි උපදින්නේද? සත්ත්‍වයා කොහි නිරුද්‍ධවන්නේද?”
එවිට වජිරා මෙහෙණියට මේ සිත විය: “මේ කවරෙක්ද? මේ ගාථා කියනුයේ මිනිසෙක්ද නැතහොත් නොමිනිසෙක්ද? “ ඉක්බිති වජිරා මෙහෙණියට මේ අදහස විය. “මේ මට බිය, තැතිගැනුම්, ලොමුදැහැගැනුම්,උපදවනු කැමැත්තේ, මා සමාධියෙන් වෙන්කරනු කැමතිව, පාපීවූ මාරයා ගාථා කියයි. “ ඉක්බිති වජිරා මෙහෙණි ‘මේ පාපීවූ මාරයා යයි දැන ගාථායෙන්ම පාපීවූ මාරයාට මෙසේ උත්තර දුන්නාය.
“මරුව, කිම? ‘සත්ත්‍වයෙකැ’ යි අදහයිද? මාරය, තට දෘෂ්ටියෙක් වීද? මේ තනි සංස්කාර පිඩෙක. මෙහි ‘සත්ත්‍වවයැ’ යි ගත යුත්තෙක් නොලැබේ.
“අවයව රැස නිසා රථයයි ව්‍යවහාරයක් යම්සේවේද, එසේම ස්කන්‍ධයන් ඇතිකල්හි සත්ත්‍වයැයි ව්‍යවහාරයවේ.
“මෙහි දුකෙක්ම පහළවේ, දුකෙක්ම සිටියි, දුක්ම ක්‍ෂයවෙයි. දුක් මිස අන් කිසිත් මෙහි පහළ නොවේ. දුකෙන් අන්‍යවූ කිසිත් මෙහි නිරුද්ධ නොවේ.”
එවිට පාපීවූ මාරයා ‘වජිරා මෙහෙණිය මා දනීයැ’ යි, දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන් විය.
පළමුවන භික්‍ෂුණී වර්ගයයි.
එහි සූත්‍ර නාමාවලිය:
ආළවිකා ද, සෝමා ද, ගෝතමී ද, (ඒ) හා විජයා ද, උප්පලවණ්ණා ද, චාලා ද, උපචාලා ද, සීසූපචාලා ද, සේලා ද, වජිරා ද (යන) මේ දසයයි.
භික්‍ෂුණී සංයුත්තය නිමියේය.
6. බ්‍රහ්ම සංයුත්තය
1. ප්‍රථම (කොකලික) වර්‍ගය
6. 1. 1.
ආයාචන සූත්‍රය
172. මා විසින් මෙසේ අසනලදී. භාග්‍යවතුන් වහන්සේ බුදුවූ පළමු කාලයේම එක් කලෙක උරුවෙල් දනව්වෙහි නේරංජරා ගංග තෙර අජපල් නුග රුක මුල වසනසේක.
එකල්හි තනිව චිත්තවිවේකයෙන් හුන් උන්වහන්සේට මෙබඳු කල්පනාවක් ඇතිවිය: ‘මා අවබෝධකළ මේ දහම ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්තය, ප්‍රණීතය, තර්‍කයෙන් බැසගත නොහැක්ක. සියුම්ය, පණ්ඩිතයන් විසින්ම දතයුතුය. එහෙත් මේ සත්ත්‍ව සමූහයා ආලයෙන් බැඳුනේය. ආලයයෙහි ලැගුනේය. ආලයයෙහි සතුටුය. ආලයයෙහි ලැගුණු ආලයයෙහි සතුටුවූ සත්ත්‍ව සමූහයා විසින් මේ හේතුවෙන් මේ ඵලය වන්නේයයි දක්වන පටිච්චසමුප්පාද නම්වූ යම් දහමෙක් ඇද්ද එය දැක්ම දුෂ්කරය. සියලු සංස්කාරයන් නිවීමට කරුණුවූ, සියලු කෙලෙස් දුරලීමට හේතුවූ, තණ්හාව නැසීමට අරමුණුවූ, රාගය පහකිරීමට අරමුණුවූ, දුක්මුල් සුන්කිරීමට හේතුවූ යම් නිවනෙක් ඇද්ද, එය දැක්ම ඔවුන්ට දුෂ්කරය. මෙසේ ඇතිකල මමත් ඔවුන්ට දහම් දෙසන්නෙම් වීම් නම්, ඒ අන්‍යයෝත් මා දෙසන දේ තේරුම් නොගන්නෝ නම්, එය මට මහන්සිය පමණෙකි. එය මා කය වෙහෙසීම පමණෙකි.”
එපමණක්ද නොව පෙර නෙඇසූ මේ ගාථාවෝද භාග්‍යවතුන් වහන්සේගේ සිතට වැටහුණහ:
“මා දුකසේ අවබෝධකළ දහම දැන් දෙසීම නිෂ්ඵලය. රාග ද්වේෂ දෙකින් මඩනා ලද්දාවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ කට නොහැක්ක.
රාගයෙන් රත්වූ මොහාන්‍ධකාරයෙන් වැසුණු සත්ත්‍වයෝ උඩුහොයට යන සියුම්, ගැඹුරු, ඉතා සූක්‍ෂමවූ මේ ධර්‍මය නොදක්නාහ.”
මෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙන්නේ විය.
ඒකල්හි භාග්‍යවතුන් වහන්සේටවූ කල්පනාව තම සිතින් දැන්මෙන් සහම්පති බඹහට මෙබඳු අදහසෙක් විය. “යම් තැනෙක අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ සිත මන්දෝත්සාහයට, දහම් නොදෙසීමට නැමේද, ඒ ලොව අහෝ නැසේ, අහෝ ලොව වැනසේ.” ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම ශක්තිමත් මිනිසෙක් යම්සේ වහා නැමූ අත දික් කරන්නේද, දික්කළ අත හෝ නවන්නේද, එසේම බඹලොව අතුරුදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවිය.