5. 1. 1.
1. ආළවිකා සූත්රය
162. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි ආළවිකා මෙහෙණිය හැඳ පෙරෙව පාත්ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස ගියාය. සැවැත්නුවරෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ තැනැත්තී, විවේකය කැමැත්තී, අන්ධවනය කරා පැමිණියාය.
එකල්හි පාපී මාරයා ආළවිකා මෙහෙණියට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ, විවේකයෙන් තොරකරනු කැමැත්තේ. ආළවිකා මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, ආළවිකා මෙහෙණියට ගාථායෙන් මෙසේ කීය:
“ලොවෙහි එතරවීමෙක් පැමිණ නැත. විවේකයෙන් කවර වැඩක් සිදුකරගන්නෙහිද? කම් සැප විඳුව, එසේ නොකොට පසුතැවෙන්නියක් නොවව.”
එවිට ආළවිකා මෙහෙණියට මෙසේ අදහස්විය. ‘මේ ගාථාව කීයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?’ ඉක්බිති ආලවිකා මෙහෙණියට, ‘මේ පාපීවූ මාරයා මට බිය හා තැතිගැන්ම හා ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, විවේකයෙන් තොරකරනු කැමැතිව ගාථාව කීයේය’ යි සිත්විය. ඉක්බිති ආලවිකා මෙහෙණිය මේ පාපීවූ මාරයායයි දැන ඔහුට ගාථාවලින් මෙසේ පෙරළා කීවේය:
“ලොවෙහි එතරවීමක් ඇත. මවිසින් එය නුවණින් දැනගන්නාලදී පමාවූවන්ගේ නෑ වූ පවිට, තෝ ඒ නිවන හෝ නිවන්මග නොදන්නෙහිය.
“පස්කම් ආයුධ හුල් බඳුය. පඤචස්කන්ධය ඔවුන්ට මස් ලොඹු (මස් කපන කොටය) බඳුය. තෝ ඒ කාමයෙහි ඇලීමක් කීයෙහිද, එය මට නොඇල්මක් විය.
එවිට පවිටු මාරතෙම ‘ආළවිකා මෙහෙණී මා දනීය’ යි දුක් දොම්නස් ඇතිව එහිම අතුරුදන්විය.
5. 1. 2.
2. සෝමා සූත්රය
163. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල්හි සෝමා මෙහෙණී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්ර සිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියාය. සැවැත්නුවර පිඬු සිඟා වළඳා පසුබත් කල්හි පෙරළා ආ තැනැත්තී දිවා විහරණය පිණිස අන්ධවනය කරා පැමිණියාය. අන්ධවනයට බැස දාවල් විවේකය පිණිස එක්තරා රුක්මුලෙක උන්නාය.
එකල්හි පාපීවූ මාරයා සෝමා මෙහෙණියට බිය තැති ලොමුදැහැගැනුම් උපදවනු කැමැත්තේ, සමාධියෙන් තොරකරනු කැමැත්තේ. ඒ මෙහෙණිය යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ සෝමා මෙහෙණියට ගාථායෙන් (මෙසේ) කීය:
“ඎෂීන් විසින් ලැබියයුතු, දුර්ලභවූ, යම් පදවියක් (රහත් බවෙක්) ඇද්ද, එය දෑඟුල් නුවණ ඇති, ස්ත්රියක විසින් ලැබිය නොහැක්ක.”
එවිට සෝමා මෙහෙණියට මෙසේ සිත්විය: “මේ ගාථා කියනුයේ කවරෙක්ද? මිනිසෙක්ද නොහොත් නොමිනිසෙක්ද?’ ඉක්බිති ඇයට, ‘මේ පාපීවූ මාරයාය. මට බිය, තැතිගැන්ම, ලොමුදැහැගැන්ම උපදවනු කැමැතිව, සමාධියෙන් තොරකරනු කැමැත්තෙ ඔහු ගාථා කියාය’ යි මේ අදහස විය. ඉක්බිති සෝමා මෙහෙණිය ‘මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:
“සිත මොනවට සමාධියට පැමිණි කල්හි, නුවණ ඇති කල්හි, දහම් ඇතිසැටියෙන් දක්නහුට ස්ත්රීබව කුමක් කරන්නේද?
“‘මම් ස්ත්රියකමි’ යි හෝ ‘පිරිමියෙකිමි’ යි කියා හෝ ‘එයින් අන් යම් එකෙකිමි’ යි කියා හෝ යමෙකුට මෙබඳු අදහසෙක් ඒකාන්තයෙන් වන්නේ නම්, මාරයා ඔහුට නම් (මට කී දේ) කියන්නට සෑහේ.”
එවිට පාපීවූ මාරයා, ‘සෝමා මෙහෙණිය මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.