4. 2. 3.
3. සකලික සූත්‍රය
149. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසනසේක. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ගේ පය ගල් පතුරෙකින් පැහැරුනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීරයෙහි හටගත් දැඩිවූ, රළුවූ, නොමිහිරිවූ, නොමනාවූ මහත් දුක් වේදනා පැවැත්තේය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ හැම එළඹ සිටි සිහි ඇතිව, නුවණ ඇතිව, නොපෙළමින් ඉවසති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර හතරට නමා එළා (දකුණු) පය මත (වම්) පය මඳක් ඉක්මවා තබා සිහි නුවණ ඇතිව උතුම් සැතපුමෙන් සැතපුණුසේක.
එවේලෙහි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“සිහි මුළායෙන් නොහොත් කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙන් මත්ව නිදන කවියෙකු මෙන් මත්ව නිදන්නෙහිද? කළයුතු (අන්) බොහෝ වැඩ යුෂ්මතාට නැද්ද? කිසිවෙකු නැති මේ සස්නෙහි මේ කුමට තනිව නිදිබර මුහුණ ඇතිව නිදන්නෙහිද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
මුළායෙකින් නොමනිදමි. කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙහි මත්ව නිදනා කවියෙකු මෙන් මත්ව නිදන්නෙක්ද නොවෙමි. අර්‍ථයට පැමිණෙන එහෙයින්ම පහවූ ශෝක ඇතිව, සියලු සතුන්ට අනුකම්පා ඇතිව, කිසිවකු නැති සෙනස්නෙහි තනිව සැතපෙමි.
“යම් කෙනෙකුන්ගේ පපුවෙහි (කෙලෙස්) හුල ඇනුණේද, එහෙයින්ම සැනෙන් සැනෙන් ළය සැලෙනුයේද, ඒ (කෙලෙස්) හුල් ඇති, ඔහු පවා නිදි ලබත්. එසේ කල්හි පහවූ සියලු හුල් ඇති මේ මම් කවර හෙයකින් නොනිදම්ද?
“මම් වූකලී අවදිව ඉඳිමිනුත් සැක බිය නොගනිමි. නිදන්නට වුවද සැක බිය නැතියෙමි. රෑ දවල්හු මා නොතවත්. ලොව කිසිම තැනෙක (මට) පිරිහීමක් නොදකිමි. එබැවින් සියලු සත් වග කෙරේ දයාවෙන් සැතපෙමි.
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
4. 2. 4.
4. පතිරූප සූත්‍රය
150. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට ඒකසාල නම් බමුණු ගමෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසති.
එකල්හි පාපී මාරයාට මේ සිත පහළ විය. “මේ ශ්‍රමණ ගෞතමයා මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. නුවණැස කණ කරනු පිණිස ශ්‍රමණ ගෞතමයා යම් තැනෙකද, එතැනට පැමිණීම යහපති.” ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“අන්හට අනුශාසනා කෙරුම යුෂ්මත්හට නොවටී. එය කෙරෙමින් රිසිබැව් නොරිසිබැව් දෙක්හි නොඇලෙව.
[භාග්‍යවතුන් වහන්සේ:]
“බුදුවරයෙක් ලොවට හිත කැමතියේ, දයා පතුරුවනුයේ අන්හට අනුශාසන කෙරේද, තථාගතවූ හෙතෙම රිසි-නොරිසි දෙකින්ම මිදුනෙක.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
4. 2. 5.
5. මානස සූත්‍රය
151. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල පාපී මාරයා භාග්‍යවතුන් වෙත පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:
“අහසින් යන්නවුන් පවා බැඳගන්නා, සිත පහළවන යම් රාග මල පුඩුයෙක් ලොව නැත්තේද, එයින් තා පෙළා බැඳගන්නෙමි. මහණ, තෝ මගෙන් නොමිදෙන්නෙහිය.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඇදගන්නාවූ රූප, ශබ්ද, ගන්‍ධ, රස හා කය හැපෙන දේ යන පස්කම් කෙනෙක් වෙද්ද, එහි ඇල්ම පහව ගියේය. මාරය තෝ නැසුනෙහිය.”
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
4. 2. 6.
6. පත්ත සූත්‍රය
152. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ තණ්හා පස පිළිබඳව භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. එහි සැටි ආදිය ඔවුන් සිකෙහි ගන්වනසේක. ඔවුන් උනන්‍දු කරන සේක. ඔවුන් අවබෝධකළ ගුණ වණා ඔවුන් සිත ප්‍රීති කරවනසේක. ඒ භික්‍ෂූහු එය වැඩ ඇති දෙයක් කොට ගෙන සිතෙහි ලා, මුළු සිතින් එය එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්