4. 2. 10.
10. රජ්ජ සූත්‍රය
156. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට හිමවත පැත්තේ අරණ්‍ය කුටියක වැඩවසනසේක. එකල්හි තනිව විවේකයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවෙක් විය. “අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?”
පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා “
[භාග්‍යවතුන් වහන්සේ:]
“පාපිය, ‘නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා’ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ?”
[මාරයා:]
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්‍ණකරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් ‘හිමාලය පර්‍වතය රන් ගොඩක්ම වේවා’ යි සිතුවහොත් ඒ පර්‍වතය රන් ගොඩක්ම වන්නේය.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්‍වතයක් තබා එමෙන් දෙගුණයක් මහත් පර්‍වතයක් වුවද, එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ. මෙසේ මෙකරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය.
“යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දුටීනම්, ඒ සත්තෙම කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද? නුවණැති පුද්ගලතෙම ‘පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය’ යි දැන එය දුරුකිරීම පිණිස හික්මියයුතු.”
එවිට පාපී මාරයා ‘බුදුරජහු මා දැනගති. සුගතයෝ මා දැනගති’ යි සලකා දුක්ව නොසතුටුව එහිම අතුරුදන්විය.
දෙවෙනි වගයි.
එහි උද්දානය:
පාසාණ, සීහ, සකලික, පතිරූප, මානස, පත්ත, ආයතන, පිණ්ඩ, කස්සක සහ දසවැනි රජ්ජ සූත්‍රයයි.
3. තුන්වෙනි වර්‍ගය.
4. 3. 1.
1. සම්බහුල සූත්‍රය.
157. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය රටෙහි සීලාවතී ගමෙහි වැඩවසනසේක. එකල වනාහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට නොදුරු තැන, එළඹ සිටි සිහි ඇතිව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, නිවන්කරා මෙහෙයූ සිත් ඇතිව, වෙසෙත්.
එකල්හි පාපී මාරයා බමුණු වෙසක් මවාගෙන, මහත් ජටාවක් බැඳගෙන, අඳුන් දිවි සම් හැඳ පොරවාගෙන, මහලුව වකුටු පරාලයක්සේ වක්වූ ශරීරයක් ඇතිව, ඝුරු ඝුරු යන හඬින් හුස්ම පිට කෙරෙමින්, දිඹුල් සැරයටියක් අතින් ගෙන, ඒ භික්‍ෂූහු යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, “පැවිදිවරු ළපටියහ, තරුණයහ, කළු කෙහෙ ඇතියහ, මනා තරුණ භාවයෙන් යුක්තයහ, කම්සුව නොවිඳියෝහ. භවත්හු මිනිස් කම්සැප විඳිත්වා. දැන් මේ ආත්මයෙහි වින්දයුතු සැප හැර, කල් ගොසින් වින්දයුතු සැපක් ඔස්සේ නොදුවත්වා” යි කීය.
එවිට ඒ භික්‍ෂූහු, “බමුණ, මේ ආත්මයෙහිදී වින්දයුතු සුව හැරදමා කල් ගොසින් ලැබෙන සැපක් ඔස්සේ අපි නොදුවමු. බමුණ, කල් ගොසින් ලැබෙන සැප හැර දමා මේ ආත්මයෙහිදීම ලැබියයුතු සැප ඔස්සේ දුවමු. බමුණ, ‘කම්සැප වනාහි කල් ගොසින් ලැබෙන දෙයක, බොහෝ දුක් ඇති එකෙක, දැඩි වෙහෙස ඇතිඑකෙක. මෙහි දොස් බොහෝයැ’ යිද, ‘මේ ලොවුතුරා දහම වනාහි මේ ආත්මයෙහිම කමා විසින්ම වින්දයුතුය. කල් නොයවා සැප පල දෙන ස්වභාව ඇත්තේය, එව බලවයි කියයුතුය. තම සිත්හි පමුණුවාලීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහිලා දතයුතුයැ’ යිද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදැ” යි කීහ.
මෙසේ කී කල්හි පාපී මාරයා තම හිස පහතට වනා, දිව දික්කොට ලෙලවා, බැම හකුළුවා, නලළෙහි තුන් රුළි නංවා, සැරයටියට බරව (එබී) නික්ම ගියේය.