4. 2. 1.
1. පාසාන සූත්රය
147. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර අසළ ගිජුකුළුපව්වෙහි වසනසේක. එකල වනාහි භාග්යවතුන් වහන්සේ ඉතා කළුවර රැයෙහි එළිමහනෙහි වැඩහුන්සේක. වැසි පොදද එක දෙක වැටේ.
එකල පාපී මාරයා භාග්යවතුන්ට බිය හා වෙවුලුම හා ලොමුදැහැගැන්ම ඇතිකරනු කැමැත්තේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට නොදුරෙහි මහත් ගල් උගුළුවා පෙරළා ලීය.
එවිට භාග්යවතුන් වහන්සේ ‘මේ පාපී මාරයා’ යයි දැන ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:
“ඉදින් මේ සියලුම ගිජුකුළුපව්ව සොලවන්නෙහි නමුදු මනාව කෙලෙසුන්ගෙන් මිදුනු බුදුවරුන්ගේ සෙලවීමෙක් නැත.”
එවිට පාපී මාරතෙම ‘භාග්යවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
4. 2. 2.
2. සීහ සූත්රය
148. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල භාග්යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලදුව දම් දෙසති.
එකල පාපී මාරයාහට “මේ ගෞතම ශ්රමණ තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. දහම් අසන්නවුන්ගේ නුවණ ඇස කණ කරන්නට ශ්රමණ ගෞතමයන් කරා ගියොත් යෙහෙකැ” යි මේ සිත විය. ඉක්බිති පාපී මාරයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“කිම? පිරිසෙහි සිංහ රජෙකු නිර්භයව නාද කෙරෙහිද? දනුව, තට සමවූ සතුරෙක් ඇත. ‘දිනූයෙකිමි’ යි සිතන්නෙහිද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ලොව ඇල්ම ඇතිකරන තණ්හාව ඉක්මවාලූ, බල (දසය) ලැබූ මහා වීරවූ, තථාගතවරු පිරිස්හි නොබියව නාද කෙරෙත්මය. (ඉන් තට කිම?)”
එවිට පාපී මාරතෙම ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.
4. 2. 3.
3. සකලික සූත්රය
149. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර අසළ මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසනසේක. එකල වනාහි භාග්යවතුන් වහන්සේ ගේ පය ගල් පතුරෙකින් පැහැරුනේ වෙයි. භාග්යවතුන් වහන්සේ ගේ ශරීරයෙහි හටගත් දැඩිවූ, රළුවූ, නොමිහිරිවූ, නොමනාවූ මහත් දුක් වේදනා පැවැත්තේය. එහෙත් භාග්යවතුන් වහන්සේ ඒ හැම එළඹ සිටි සිහි ඇතිව, නුවණ ඇතිව, නොපෙළමින් ඉවසති. ඉක්බිති භාග්යවතුන් වහන්සේ සඟළ සිවුර හතරට නමා එළා (දකුණු) පය මත (වම්) පය මඳක් ඉක්මවා තබා සිහි නුවණ ඇතිව උතුම් සැතපුමෙන් සැතපුණුසේක.
එවේලෙහි පාපී මාරයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“සිහි මුළායෙන් නොහොත් කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙන් මත්ව නිදන කවියෙකු මෙන් මත්ව නිදන්නෙහිද? කළයුතු (අන්) බොහෝ වැඩ යුෂ්මතාට නැද්ද? කිසිවෙකු නැති මේ සස්නෙහි මේ කුමට තනිව නිදිබර මුහුණ ඇතිව නිදන්නෙහිද?”
[භාග්යවතුන් වහන්සේ:]
මුළායෙකින් නොමනිදමි. කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙහි මත්ව නිදනා කවියෙකු මෙන් මත්ව නිදන්නෙක්ද නොවෙමි. අර්ථයට පැමිණෙන එහෙයින්ම පහවූ ශෝක ඇතිව, සියලු සතුන්ට අනුකම්පා ඇතිව, කිසිවකු නැති සෙනස්නෙහි තනිව සැතපෙමි.
“යම් කෙනෙකුන්ගේ පපුවෙහි (කෙලෙස්) හුල ඇනුණේද, එහෙයින්ම සැනෙන් සැනෙන් ළය සැලෙනුයේද, ඒ (කෙලෙස්) හුල් ඇති, ඔහු පවා නිදි ලබත්. එසේ කල්හි පහවූ සියලු හුල් ඇති මේ මම් කවර හෙයකින් නොනිදම්ද?
“මම් වූකලී අවදිව ඉඳිමිනුත් සැක බිය නොගනිමි. නිදන්නට වුවද සැක බිය නැතියෙමි. රෑ දවල්හු මා නොතවත්. ලොව කිසිම තැනෙක (මට) පිරිහීමක් නොදකිමි. එබැවින් සියලු සත් වග කෙරේ දයාවෙන් සැතපෙමි.
එවිට පාපී මාරයා ‘භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.